මිනිස්සු පීඩා විදින මිනිස්සු සොයා ගිය ගම්මැද්ද..

මිනිස්සු පීඩා විදින මිනිස්සු සොයා ගිය ගම්මැද්ද..

by Staff writer 12-01-2025 | 9:43 PM

COLOMBO (News 1st) - මිනිස්සු පීඩා විදින සමහර ප්‍රශ්න විසදන්න බැරිවෙලා තියන්නේ බලධාරීන්ගේ කඹ ඇදිල්ල නිසා.

උදාහරණ බොහොමයි. මේ එයින් එකක්.

බලධාරීන්ගේ කඹ ඇදිල්ල නිසා තමයි, උඩුපුස්සැල්ලාව - නුවරඑළිය ප්‍රධාන පාරේ, කඳපොළ අලුත්පාර ගම්මානයේ මිනිස්සුන්ට මේ ඉරණම අත්වෙලා තියන්නේ.

පොඩි වැස්සකට ඇල උතුරපු ගමන් ගමේ කොටසක් යටවෙනවා.

ගම්මු කියන්නේ කුණුවලින් අවහිරවෙලා තියන ඇල හදලා දෙන්න බලධාරීන් ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා.

''මේක දීර්ඝ කාලෙක ඉදන් තියන ප්‍රශ්නයක්. නිලධාරීන්ගේ කඹ ඇදිල්ල නිසා තමයි මේක මේ තත්ත්වයට ඇවිල්ලා තියන්නේ. කිසිම ක්‍රියාමාර්ගයක් අද වන තුරු පස් පිඩැල්ලක්වත් අරන් දාලා නැහැ. අඩි හතරක් පහක් යටවෙනවා. මේ ගෙවල් ඔක්කොම යටවෙනවා. පැය භාගයක් වැස්සානම් මේ මාර්ගය සෑහෙන්න අවහිර වෙනවා''

අවුරුද්දකට කිහිප සැරයක් ඇල උතුරලා ඒ අවට ගෙවල් යටවෙනවා.

මේ ප්‍රශ්නය එළියට ආවේ ගම්මැද්ද නුවරඑළියේ කණ්ඩායම ගෙයින් ගෙට ගමන් කරපු වෙලාවේ.

''31 වැනිදා රෑත් මේ ගේ යටවුණා. මුළු පාර ඔක්කොම යට වුණා. හැමදාම අපි මේ දුක තමයි විදින්නේ අපි ඇද උඩ ඉන්නේ දැන්''

ගෙවල් විතරක් නෙමෙයි, මහන්සියෙන් කරපු වගාවත් වැස්සට යටවෙලා.

''මේ අවුරුද්දටම මේ තුන්වැනි දවස, ඇල බ්ලොක් වෙනවා හැමදාම, මිනිස්සු කුණු ඔක්කොම දාන්නේ මේ ඇලට, ටොයිලට්වල වතුර ඔක්කොම මේ ඇලට තමයි යන්නේ''

කදපොලින් පිටත් වුණු ගෙයින් ගෙට කණ්ඩායම රාගල වත්ත, උඩුපුස්සැල්ලාව - සූරියගහපතන සහ එනික්වත්තටත් ගියා.

යාපනය දිස්ත්‍රික්කයට ගිය කණ්ඩායම නල්ලූර් පූම්බුගාර් ධීවර ගම්මානයේ ජනතාවටත් සවන් දුන්නා.

පිරිස, කොලුම්බුතුරේ, මනියන්දොට්ටම්, නාවලඩි - අරියාලෙයි නැගෙනහිර ගම්මානවලට යන්නත් අමතක කරේ නැහැ.

අනුරාධපුර දිස්ත්‍රික්කයට ගිය කණ්ඩායම ගෙයින් ගෙට ඇවිද ගියේ නොච්චියාගම - හල්මිලකුලම , පහළවැටියාව, දුණුදබුවැව, මුස්ලිම් කොලණිය සහ කඳුවැව ගම්මානවලටයි.

ගැටළු මැද ගෙවන ජීවිතය ගැන මිනිස්සු විස්තර කිව්වා.

ගාල්ල දිස්ත්‍රික්කයේ කණ්ඩායම ඉමදූව- ඇටමැස්කන්ද, අමුකොටුකන්ද , අගුළුගහ, බණ්ඩාකන්ද ඇතුළු ගම්මානවල ජනතාව හමු වුණා.