කටුනායකට ආපු ගුවන් යානා 4ක් යළි හරවා යැව්වේ ඇයි?

කටුනායකට ආපු ගුවන් යානා 4ක් යළි හරවා යැව්වේ ඇයි?

by Hashini De Mel 07-01-2025 | 3:03 PM

COLOMBO ( News 1st )- කටුනායක ගුවන්තොටුපොළ වෙත අද(07) අලුයම ගොඩබැස්සවීමට නියමිතව තිබු ගුවන් යානා 04ක් ගුවන්තොටුපොළවල් කිහිපයක් වෙත හරවා යවා තිබේ.

ඒ, ගුවන්තොටුපොළ අවට ප්‍රදේශයේ පැවති දැඩි මීදුම් තත්ත්වය හමුවේ, ගුවන් නියමුවන්ට, ධාවන පථය නිසියාකාරව නොපෙනීම හේතුවෙනි.

කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට නියමිතව තිබු ඩුබායි සිට පැමිණි ශ්‍රීලංකන් ගුවන් සේවයේ යානයක් මත්තල ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබේ.

චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි ශ්‍රීලංකන් ගුවන් සේවයේ යානයක් ද මත්තල ගුවන්තොටුපොළ වෙත හරවා යැවීමට පියවර ගෙන තිබුණි.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, ඉන්දියාවේ බැංගලෝර් සිට පැමිණි යානයක් ද මත්තල ගුවන් තොටුපොළට හරවා යැවු බවයි.

තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි තුර්කි ගුවන් සේවයේ යානය ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන්තොටුපොළ වෙත හරවා යැවු බව අප වාර්තාකරු සඳහන් කළේ ය.