ජනපති සහ නීතිපති සාකච්ඡා මේසයට

ජනපති සහ නීතිපති සාකච්ඡා මේසයට,ආන්දෝලනයට තුඩුදුන් නඩු කිහිපයක් ගැන ජනපතිගේ අවධානය...

by Staff writer 06-01-2025 | 10:31 PM

COLOMBO (News 1st) - ආන්දෝලනයට තුඩුදුන් නඩු කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපති පාරින්ද රණසිංහ මහතා සාකච්ඡා කර තිබේ.

අද (06) පස්වරුවේ මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ, නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග මෙම සාකච්ඡාවට නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් සහ අධිකරණ අමාත්‍යවරයාද සහභාගිවී තිබිණි.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් බවයි.

අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම බවත්, දේශපාලන අධිකාරීත්වය පිළිබඳව පැවති ජනතා අදහස් වෙනස් කර විශ්වාසය තහවුරු කළ යුතු බවත්, මහජන අපේක්ෂා බිඳ වැටීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.

ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ මහජන අපේක්ෂා බිඳ වැටීමට රජයක් ලෙස කටයුතු නොකරන අතර ජනතාවගේ සිත් තුළ බිඳ වැටී තිබුණු යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නැවත ප්‍රතිස්ථාපනය කිරීමටද කටයුතු කරන බවයි.

විමර්ශන සම්බන්ධයෙන් පවතින ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කළ බව නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

විමර්ශන ප්‍රමාද වීම සම්බන්ධයෙන් එහිදී නීතිපතිවරයා ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කර ඇති අතර නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, විමර්ශන ප්‍රමාදයකින් තොරව ඉදිරියට පවත්වාගෙන යාමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි.

අදාළ නඩු කඩිනමින් අවසන් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර තිබේ.