හඬ පටයක් ගැන පොලිස් විමර්ශන...

Clean Sri Lanka 2025 වැඩසටහන ගැන සමාජ මාධ්‍යයේ පළ මූ හඬ පටයක් ගැන පොලිස් විමර්ශන...

by Staff writer 05-01-2025 | 7:01 AM

COLOMBO (News 1st) - රජය මගින් ක්‍රියාත්මක කරන Clean Sri Lanka 2025 වැඩසටහන පිළිබඳව සමාජ මධ්‍ය තුළ පළ වන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ,  Clean Sri Lanka යටතේ කිසියම් පුද්ගලයෙකු විසින් සිදුකළ අසත්‍ය හඬපටයක් මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවයි.

එම හඬ පටය තුළ පොලිස් ආඥා පනතේ වගන්තියක් සඳහන් කරමින් මහජනතාව විසින් තම නිවෙස් ඉදිරිපිට ප්‍රදේශ පිරිසිදුව තබා ගැනීම ඇතුළු තවත් කරුණු සම්බන්ධයෙන් අවධාරණය කර ඇත.

තව ද එම හඬ පටය තුළ එසේ ක්‍රියානොකරන පුද්ගලයින්ට එරෙහිව 2025.01.15 වන දිනෙන් පසු නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවටත් ප්‍රකාශ කර තිබෙන බව සඳහන් කර ඇතැයි, පොලිසිය පවසයි.

එම හඬ පටය අසත්‍ය හඬ පටයක් බවත්, එවැනි හඬ පටයක් ශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් කර නොමැති බවටත් පොලිස් නිවේදනයේ සඳහන්.

ඒ අනුව අදාළ හඬ පටය නිකුත් කළ පුද්ගලයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ය.