සිරකරුවෝ දම්වැල් දමා අධිකරණයට ගේන්න එපා..

සිරකරුවෝ ‍සතුන් මෙන් දම්වැල් දමා විවෘත අධිකරණයට ගේන්න එපා- කොළඹ අතිරේක මහේස්ත්‍රාත්ගෙන් අවවාද

by Staff writer 03-01-2025 | 2:47 PM

COLOMBO (News 1st) -බන්ධනාගාරගතව සිටින පුද්ගලයන්ද මනුෂ්‍යයන් බැවින් සතුන් මෙන් ඔවුන්ව දම්වැල් දමා විවෘත අධිකරණයට රැගෙන නොඑන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා බන්ධනාගාර නිලධාරීන්ට ඊයේ අවවාද කළේ ය.

"සතුන් ලෙස දම්වැල්වලින් ගැට ගසා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන්න එපා ඒකට මම කැමති නැහැ ඒ අයත් මනුෂ්‍යයෝ ඒ අයට මනුෂ්‍යයන් ලෙස සලකන්න" යනුවෙන් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී බන්ධනාගර නිලධාරීන්ට අවවාද කරමින් පැවසූවේ ය.

අධිකරණ නිවාඩු සමය බැවින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ශාලා නවයක ඇති සියලු නඩු ඊයේ කැඳවනු ලැබුවේ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා රාජකාරි කරන අංක 03 අධිකරණ ශාලාවේ ය.

එම අවස්ථාවේ සැකකරුවන් පිරිසකට දම්වැල් දමා තිබෙන අයුරු නිරීක්ෂණය වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිළධාරීන්ට එලෙස අවවාද කළේ ය.

අධිකරණ සිරමැදිරිය තුළ නිසි ක්‍රමවේදයවලට අනුව ඔවුන් රඳවා තබන ලෙසද අවවාද කළ මහේස්ත්‍රාත්වරයා මින් ඉදිරියට තම අධිකරණයට විලංගු දමා සිකරුවන් ඉදිරිපත් නොකරන ලෙස බන්ධනාගර නිලධාරීන්ට දන්වා සිටියේ ය.