රාත්‍රීයේ වාහන නවත්වන හැටි ගැන පොලීසියට උපදෙසක්

රාත්‍රී කාලයේ වාහන නවත්වන ආකාරය ගැන පොලීසියට විශේෂ උපදෙස් මාලාවක්

by Staff writer 26-12-2024 | 2:40 PM

COLOMBO (News1st) - රථ වාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට රාත්‍රී කාලයේදී වාහන නැවැත්වීමේ දී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව අදාළ රථවාහන නිලධාරියා රියැදුරන්ට මනාව දර්ශනය වන ලෙස ආලෝකය පරාවර්තනය වන ලුමිනස් ජැකට් හා ලුමිනස් අත්වැසුම් පැළඳ සිටිය යුතුයි. ‍

එමෙන්ම රථවාහන නැවැත්වීම සඳහා මේ වනවිට පොලිස් ස්ථාන වෙත නිකුත්කර ඇති රතු විදුලි පන්දම් හැකිතාක් භාවිත කරන ලෙසට ද අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

රාත්‍රී රාජකාරි යොදවන නිලධාරීන් එසේ ක්‍රියාකරන්නේ ද යන්න පිළිබඳව, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ රථවාහන ස්ථානාධිපතිවරුන් විසින් නිරන්තරයෙන් අධීක්ෂණය කළ යුතු බව ද වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බව සඳහන් වේ.

පොලීසිය පැවසුවේ, රථවාහන රාජකාරි නිලධාරීන් රාත්‍රී කාලයේ රථවාහන නැවැත්වීමට සංඥා කිරීමේදී බොහෝ අවස්ථාවල විවිධ ආකාරයේ විදුලි පන්දම් භාවිත කිරීම තුළින් එම විදුලි පන්දම් ආලෝකය රියැදුරන්ගේ මුහුණට වැදීම හේතුවෙන්, ඇතැම් අවස්ථාවල රථය හැසිරවීමට සහ පාලනය කිරීමට අපහසු බවයි.

එබැවින් අනතුරු සිදුවීමට ඇති හැකියාවත්, ආලෝක පරාවර්තන ජැකට් පැළඳ නොසිටීම තුළින් නිලධාරීන් අනතුරට පත්වීමේ අවකාශය වැඩි බවටත් නිරීක්ෂණය වී ඇති බැවින් මෙම තීරණය ගෙන තිබේ.