COLOMBO (News 1st) - මුළු මහත් ලොවක් අඳුරු කරමින් හිත්පිත් නැති සයුරු රළට, ජීවිත දහස් ගණනාවක් බිලි වී අදට වසර 20කි.
දිනය 2004 දෙසැම්බර් 26 වැනි දා වේලාව උදෑසන 6 යි විනාඩි 58ට උතුරු සුමාත්‍රා දූපත් සමීපයේ ගැඹුරු මුහුදේ මැග්නිටියුඩ් 9.1ක ප්‍රබල භූ කම්පාවක් සිදු විය.
නත්තලට පසු ඉරිදා දිනයේ විවේකීව ගතකළ කිසිවෙකුත් නොදැන සිටි මහා ව්‍යසනයක ආරම්භය එයයි.
ස්ථාන කිහිපයක පොළොව සෙලවුණු බවට නිව්ස්ෆස්ට් ප්‍රවෘත්ති මධ්‍යස්ථානයටත් ඇමතුමක් ලැබිණි.
විනාඩි කිහිපයකින් ත්‍රිකුණාමලයෙන් මුහුද ගොඩගලන බවට තොරතුරු ලැබුණි.
භූමිකම්පාවෙන් පැය දෙකකට පසුව හරියටම උදේ 9 යි 26 ට පැයට කිලෝමීටර් 800ක වේගයෙන් පැමිණි මුහුදු රළ අපේ රටේ වෙරළ තීරයෙන් රට ඇතුළු විය.
මිනිස් ඉතිහාසයේ අප අත්දුටු දැවැන්තම ස්වාභාවික ව්‍යසනය ආසියානු කලාපයේ රටවල් 14ක ජීවිත දෙලක්ෂ විසි හත්දහස් අටසිය අනූ අටක් අහිමි කළේ තත්පර කිහිපයකිනි.
අපේ රටෙත් ජීවිත 35,000ක් පමණ සුනාමියෙන් අහිමි විය.
පැරෑලියේ දුම්රියේ පමණක් අහිමි වූ ජීවිත ගණන 1270 කි.
තවත් 141 දෙනෙකුට සිදු වූයේ කුමක්දැයි අදටත් කිසිවෙකු දන්නේ නැත.
ව්‍යසනයේ තරම ක්ෂණයකින් අවබෝධ කරගත් අප වාර්තාකරණයෙන් ඔබ්බට ගොස් සීමාසහිත කැපිටල් මහාරාජා සංවිධානය ලෙස ඒකාබද්ධ වැඩපිළිවෙළක් පැති කිහිපයකින් දියත් කළේ ය.
එදා ඒ වෙනුවෙන් ආරම්භ කළ සජීව වැඩසටහන වෙනුවෙන් සකස් කළ පෙළගැස්ම ඇතුළත් ලියවිල්ල වසර 20කට පෙර අපේ මතක අලුත් කරවන්නකි.
ජනතාවට අඛණ්ඩව තොරතුරු වාර්තා කරන අතරේ තවත් පසෙකින් විපතට පත් ජනතාව වෙනුවෙන් එක්ව නැගී සිටින්නට දිරි දෙන වැඩපිළිවෙළක් අප එදා සැළසුම් කළෙමු.
ඇඳිවත ද අහිමිව අසරණ වූ අපේම සහෝදර ජනතාව වෙනුවෙන් ඒ දියත් වූයේ අදත් ජන මනසේ ලැගුම්ගෙන සිටින සහන යාත්‍රාවයි.
එදා එකාවන්ව නැගී සිටි අප සුනාමි ව්‍යසනය පරයා නැගී සිටින්නට සමත් විය.
එහෙත් 20 වසරකට පසුවත් ඒ මහා ව්‍යසනයෙන් වියෝ වූ අපේම සහෝදර ජනතාව අප සිහිපත් කරන්නේ නැයත එවන් විපතක් ඇති නොවේවායි ප්‍රාර්ථනයෙනි.
එක්ව නැගී සිටින්නට සුනාමිය අපට කියාදුන් පාඩමෙන් අප යළිත් උගනිමු.
සුනාමියෙන් ජීවිත අහිමි වුණු අපේම සහෘදයින් වෙනුවෙන් කළ හැකි හොදම ගෞරවය එය නොවේද?
අපි එක්වී නැගිටිමු.