කසක්ස්ථානයේ ගුවන් අනතුරට හේතුව හෙළිවෙයි

කසක්ස්ථානයේ ගුවන් අනතුරට හේතුව හෙළිවෙයි

by Staff writer 26-12-2024 | 9:08 AM

COLOMBO (News 1st) - කසක්ස්ථානයේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 38ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තුවාල ලැබූ 29 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

කුරුළු රංචුවක් ගුවන් යානයේ ගැටීමෙන් අනතුර සිදුවන්නට ඇති බවට රුසියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය සැක පළ කරනු ඇත.

ගුවන් යානයේ කළු පෙට්ටිය හමුවීමත් සමග අනතුර පිළිබඳ කඩිනම් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

එලෙස අනතුරට ලක්වුණේ, අසර්බයිජානයේ බකූ අගනුවර සිට රුසියාවේ ග්‍රොස්නි දක්වා පියාසර කරමින් තිබූ යානයකි.

අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් 62 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු සිට තිබුණි.

ඒ අතරට අසර්බයිජාන ජාතිකයින් 37ක්, රුසියානු ජාතිකයින් 15ක්, කසක්ස්තාන් ජාතිකයින් 7ක්, කිරිගිස්තාන් ජාතිකයින් 3 දෙනෙකු සහ ජර්මන් ජාතිකයෙකු ඇතුළත්ය.

එය, කැස්පියන් මුහුදට ඉහළින් පියාසර කරමින් තිබියදී අනතුරු ඇඟවීමේ සංඥා නාද වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

අනතුරුව රුසියාවේ ග්‍රොස්නි ගුවන් තොටුපොළට හදිසි ගොඩබෑමක් සඳහා නියමුවන් අවසර ඉල්ලා සිටිය ද මීදුම හේතුවෙන් එය ගොඩබැස්වීමට හැකිවී නැත.

අනතුරුව මකච්කාලා හෝ ඇක්ටෝ ගුවන්තොටුපොළ බලා හරවා යාමේදී ගුවන් යානය කඩා වැටී තිබේ.