පළාත් පාලන මැතිවරණය ගැන ගත් තීරණය...

පළාත් පාලන මැතිවරණයට අලුතින් නාම යෝජනා කැඳවීමේ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

by Staff writer 24-12-2024 | 11:09 AM

COLOMBO ( News 1st ) - පළාත් පාලන මැතිවරණයට අලුතින් නාම යෝජනා කැඳවීමේ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ, ඊයේ(23) පැවති කැබිනට් මණ්ඩල හමුවේදීයි.

පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පැවසුවේ, පළාත් පාලන මැතිවරණයට අලුතින් නාමයෝජනා කැඳවීමට කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව මත පදනම්ව නව පනත් කෙටුම්පත සකස් කළ බවයි.

ඊට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිවූ බව ද රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එම පනත් කෙටුම්පත ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කිරීමෙන් පසු මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක මහතා ඊයේ(23) ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ, එම කටයුතු සිදු වූ වහාම මැතිවරණ දිනය කඩිනමින් ප්‍රකාශයට පත්කරන බවයි.

පළාත් පාලන මැතිවරණය සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා මහනුවරදී ප්‍රකාශ කළේ ය.