හිටපු ජනපතිවරුන්ගේ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවතට

හිටපු ජනපතිවරුන්ගේ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව අද සිට ඉවත් කිරීමට පියවර..

by Staff writer 23-12-2024 | 10:25 AM

COLOMBO (News 1st) –හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද(23) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාපතිවරුන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇති බවයි.

අද සිට හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් පමණක් තවදුරටත් කටයුතු කරනු ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ය.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යොදවා ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව මාස 06කට වරක් සමාලෝචනය කර ආරක්ෂක කටයුතු සංශෝධනයට පියවර ගන්නා බවයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පසුගියදා පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමින්,  හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඉවත් කිරීමේ තීරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූවේ ය.