මාධවීගේ සැමියා අත්අඩංගුවට ගත් දෙදෙනා ගැන නිවේදනයක්

මාධවීගේ සැමියා අත්අඩංගුවට ගත් පොලීසියේ දෙදෙනාට තාවකාලික ස්ථාන මාරු

by Staff writer 22-12-2024 | 9:07 PM

COLOMBO(News 1st) -

රංගන ශිල්පිනී මාධවී ඇන්තනී මහත්මියගේ සැමියා පොලිස් භාරයට ගෙන හිරිහැරකාරී ලෙස පැය කිහිපයක් රඳවා තබා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

ඒ බස්නාහිර පළාත් දකුණ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ය.

රංගන ශිල්පිනී මාධවී ඇන්තනී මහත්මියගේ සැමියාවන ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා ඊයේ තම සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සටහනක් තබමින් පැවසුවේ තමා නිවස අසල වෙළඳ සැලකට ගොස් සිටි අවස්ථාවේදී පැමිණී පොලිස් නිලධාරීක් පිරිසක් ජාතික හැඳුනුම්පත පරීක්ෂෘ කරන මුවාවෙන් තමාව බලෙන්ම පොලීසියට ගෙන ගොස් පීඩා කාරී ලෙස පැය කිහිපයක් රඳවා තබාගත් බවයි.

පසුව ඔවුන් පොලිස් සහන මැදිරියටද ගොස් මේ පිලීබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය.

මහජන ආරක්ෂ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ , සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශන සිදුකරන්නැයි වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන් බවයි.

මේ අතර , පොලිස් මූලස්ථානය පැවසුවේ මාධවී ඇන්තනී මහත්මියගේ සැමියා පොලිස් භාරයට ගත් බව කියන අතුරුගිරිය පොලිසියට අනියුක්ත නිලධාරීන් දෙදෙනා විමර්ශන අවසන් වන තුරු තාවකාලිකව ස්ථාන මාරු කිරීමට පියවර ගෙන ඇති බවයි.

පොලීසිය පැවසුවේ බස්නාහිර පළාත් දකුණ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.