ජනපති අත්සනින් අති විශේෂ ගැසට් නිවේදනයක්

ණය ගැනීමේ සහ ණය සුරැකුම්පත් නිකුත් කිරීමේ බලය මහා භාණ්ඩාගාර ලේකම්වරයාට පවරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්..

by Staff writer 22-12-2024 | 6:58 AM

COLOMBO (News 1st) - මෙරට ආණ්ඩුව වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත, දේශීය හෝ විදේශීය ව්‍යවහාර මුදලින් ණය ගැනීමේ සහ ණය සුරැකුම්පත් නිකුත් කිරීමේ බලය, මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත පවරා තිබේ.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයකිනි.

ඊට අමතරව ලක් රජය ලබාගන්නා විදේශ ණය සම්බන්ධ ගිවිසුම් අත්සන් කිරීමේ බලය, භාණ්ඩාගාර ලේකම්වරයාට හිමි වේ.

රාජ්‍ය සංස්ථාවකට හෝ පොදු ව්‍යවසායකට විදේශ ණයක් ලබාගැනීමට ලක් රජයෙන් ලබාදෙන ඇපකරවලට අත්සන් තැබීමේ බලය ද, නව ගැසට් නිවේදනයට අනුව භාණ්ඩාගාර ලේකම්වරයාට හිමිවනු ඇති.

ලක් රජය විසින් එළඹිය යුතු එවැනි ගිවිසුමක් හෝ ඇපකරයක් සඳහා අවශ්‍ය ඕනෑම කොන්ත්‍රාත්තුවක්, බැඳුම්කරයක්, පොරොන්දු පත්‍රයක් හෝ වෙනත් ලේඛණයක් අත්සන් කිරීමේ බලය ද, භාණ්ඩාගාර ලේකම්වරයාට හිමිවේ.