ජනපති අනුර ඉන්දීය ජනාධිපතිනිය හමුවෙයි

ශ්‍රී ලංකා රජයේ ප්‍රයත්නයන්ට ඉන්දියාව අඛණ්ඩව සහය දෙනවා - ඉන්දීය ජනපතිනිය ජනපති අනුරට කියයි

by Staff writer 17-12-2024 | 9:03 AM

COLOMBO (News1st): ඉන්දියාවේ තුන්දින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය ජනාධිපති දෞපදි මූර්මු මහත්මිය ඊයේ(16) රාත්‍රී හමුවිය.

ඒ, රාෂ්ට්‍රපති භවන් හීදීය.

දෙරටම නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් මෙම හමුව සඳහා එක්ව සිටියහ.

ඉන්දු - ශ්‍රී ලංකා දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

ඉන්දීය ජනාධිපති දෞපදි මුර්මූ මහත්මිය එහිදී මෙසේ පැවසුවාය.

''ශ්‍රී ලංකාව, ඉන්දියාවේ අසල්වැසියා ප්‍රථමයෙන්’ යන ප්‍රතිපත්තියේ සහ සාගර් (SAGAR) දැක්මේ වැදගත් කොටසක්. සමීප සහ විශ්වාසනීය හවුල්කරුවෙකු ලෙස, තිරසාර ආර්ථික සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජය ගෙනයන ප්‍රයත්නයන්ට ඉන්දියාව අඛණ්ඩව සහයෝගය ලබා දෙනවා. ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියට ගෙන යාම සඳහා දෙරටේ කැපවීම අද සම්මත කරගත් ඒකාබද්ධ ප්‍රකාශයෙන් පිළිබිඹු වනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිවීමට සහ ස්ථාවරත්වයට ඉන්දියාවේ ආයෝජන ප්‍රමුඛ මෙහෙයුම් ඉවහල් වනු ඇතැයි මම විශ්වාස කරනවා. දෙරටේ ජනතාවගේ සාමය සහ සමෘද්ධිය උදෙසා ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියට ගෙන යාම සඳහා මේ සංචාරය නව ප්‍රවේශයක්. ඒ වගේම සමුද්‍රීය  ආරක්ෂක අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීම අඛණ්ඩව සිදුවන බවට මම සහතික වනවා''

සාකච්ඡාවෙන් අනතුරුව ඉන්දීය ජනාධිපතිනියගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස රාත්‍රී භෝජන සංග්‍රහයකට ද එක්විය.

මේ අතර, ජනාධිපතිවරයා අද(17) උදෑසන බුද්ධගයාව වැදපුදා ගැනීමට නියමිතයි.

අනතුරුව ඉන්දීය සංචාරය අවසන් කරමින් ජනාධිපතිවරයා අද පස්වරුවේ දිවයිනට පැමිණෙන බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.