ජනපති ඉන්දියාව බලා පිටත්ව යයි - ජනාධිපති මාධ්‍ය අංශය

by Staff writer 15-12-2024 | 2:34 PM

COLOMBO (News 1st) - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, නිල සංචාරයක් සඳහා අද (15) දහවල් ඉන්දියාව බලා පිටත්ව ගියේ ය.

ඉන්දීය ජනපතිනියගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන අතර, මෙය ජනපතිවරයාගේ මංගල විදෙස් සංචාරයයි.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත යන මහත්වරුන් ඇතුලු පිරිසක් ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්වේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, මෙහිදී ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී එකඟතා කිහිපයකට එළඹීමට නියමිත බවයි.

ඉන්දීය ජනාධිපති දෞපදී මුර්මු මහත්මිය සමග ද, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දූත පිරිස සාකච්ඡාවන්හි නිරත වන බවද, විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, ඉන්දීය උප ජනපති ජධීප් ධාන්කාර්, මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ සෞඛ්‍ය අමාත්‍ය ජේ. පී. නද්දා යන මහත්ම මහත්මීන්ද මෙම සංචාරයේදී ජනාධිපතිවරයා හමුවීමට නියමිතයි.

ඉන්දු - ලංකා මිත්‍රත්වය වැඩිදියුණු කරගැනීම, මෙම සංචාරයේ අරමුණ වන අතර අදින් ආරම්භ වන ජනාධිපතිවරයාගේ ඉන්දීය නිල සංචාරය ලබන 17 වැනි අඟහරුවාදා අවසන් වේ.