ජනපති ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා අරඹයි...

ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනපති, එරට විදේශ ඇමති, මුදල් ඇමති සහ ආරක්ෂක උපදේශක හමුවෙයි. - ජනාධිපති මාධ්‍ය අංශය

by Staff writer 15-12-2024 | 10:32 PM

COLOMBO (News 1sy) - තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,  ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් මහත්මිය , සහ ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා හමුව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය ඇති කිරීම සඳහා ඉන්දියාවේ දැවැන්ත වෙළෙඳපොළ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව පිළිබඳ මෙහෙදී අවධානය යොමුවූ බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඇතුළු ධුත පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා වූයේ අද (15) පස්වරුවේ යි.

ඉන්දීය ජනපතිනියගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වේ.

මෙය ජනපතිවරයාගේ මංගල විදෙස් සංචාරයයි.

ඉන්දියාවට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දූත පිරිසට නවදිල්ලි ගුවන් තොටුපොළේදී හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්.

ඉන්දීය තොරතුරු හා සන්නිවේදන අමාත්‍ය ආචාර්ය එස්. මුරුගන් , ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා , ඉන්දීය සාගර කලාප අතිරේක ලේකම් පූනීත් අග්‍රවාල්, ඉන්දීය ප්‍රොටකොල් ප්‍රධානී අන්ෂුමන් ගෞර් යන මහත්වරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේ ය.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීම පිළිබඳ ඉන්දීය මාධ්‍ය මගින් සුවිශේෂී ප්‍රචාරයක් ලබා දී තිබූ අතර නවදිල්ලි අගනුවර ප්‍රධාන වට රවුම් ආශ්‍රිතව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ මෝදි අගමැතිවරයාගේරුව සහිත පුවරු ද ප්‍රදර්ශනය කර තිබූ බවයි.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද මෙම සංචාරය සඳහා එක්ව සිටියා

ඉන්දු - ලංකා මිත්‍රත්වය වැඩිදියුණු කරගැනීම, මෙම සංචාරයේ අරමුණ වන අතර අදින් ආරම්භ වන ජනාධිපතිවරයාගේ ඉන්දීය නිල සංචාරය ලබන 17 වැනි අඟහරුවාදා අවසන් වේ.