නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට පොලීසියට අමතරව හමුදා නිලධාරීන් ද යොදවා ඇති බවයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ රජය විසින් ප්‍රභූ ආරක්ෂාව සඳහා නිලධරයන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කිරිමට පත් කර ඇති කමිටුව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක තක්සේරු වාර්තා සහ ඒ සඳහා පොලීසිය දරන වැය බර සමාලෝචනයට ලක් කර ඇති බවයි.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක කටයුතු ආවරණය කිරිම සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරින්ගේ වැය බර වාර්ෂික රුපියල් මිලියන 1100 ක් බව නිරීක්ෂණය වී ඇතැයි පොලිසිය පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් වාර්ෂිකව මිලියන 326කට වැඩි වැය බරක් දරන බව පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු ජනාධිපතිවරුන් සඳහා ආරක්ෂක නිලධාරින් සංඛ්‍යාව 60ක් දක්වා සංශෝධනය කර පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.
ඊට අමතරව වරින් වර කමිටුව රැස් වී තක්සේරු වාර්තා කැඳවා නිලධාරින් සංඛ්‍යාව අඩු හෝ වැඩි කිරීමට කටයුතු කරන බවත් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා සන්නද්ධ සේවාවල සාමාජිකයින් යොදවා ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන් වේ.
එහි වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොලීසියේ සාමාන්‍ය පොලිස් රාජකාරී සඳහා දැනටමත් නිලධාරින් 24,000 ක ඌණතාවක් පවතින බවයි.
මෙලෙස ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා ඇති නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීමෙන් අපරාධ මර්දනය ඇතුළු අනෙකුත් රාජකාරී සඳහා එම පොලිස් නිලධාරීන් යෙදවිය හැකි බව ද පොලීසිය පවසයි.
ඔවුන් අවධාරණය කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව හමුදා නිලධාරීන්ද යොදවා සිටින බැවින් ඔහුගේ ආරක්ෂාව කිසිදු ආකාරයකින් බිඳ වැටී නොමැති බව නිරීක්ෂණය වන බවයි.
අදාල නිවේදනය පහතින්