ශ්‍රීපාද මළුවේ කළ විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව වන්දනා සමය අද(14) අලුයම ආරම්භ කෙරිණි.
මේ අතර ශ්‍රීපාද වන්දනා සමයේ කටයුතු කළ යුතු ආකාරය පිළිබද දැනුම් දෙමින්, රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ අත්සනින් අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ, ලිහිණිහෙල, පලාබද්දල විහාරස්ථානය, හැරමිටිපාන, ආඩියාමලතැන්න, වර්ණගල, සීතගගුල, මැදහින්න, ඉඳිකටුපාන යන විශ්‍රාම ශාලා නවාතැන් ලෙස භාවිත කළ යුතු බවයි.
තාවකාලික නවාතැන්, සකස් කිරීම හෝ පවත්වාගෙන යාම නොකල යුතුයි.
රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතාගේ හෝ බලයලත් නිලධාරියෙකුගේ ලිඛිත අවසරයකින් තොරව කිසිවෙකු විසින් හෝ මේ කාලසීමාව තුල ස්ථීර හෝ තාවකාලිකව ගොඩනැගිල්ලක්, නවාතැනක් හෝ වෙළෙඳසැලක් ඉදි කිරීම නොකළ යුතු බව ගැසට් නිවේදනයේ දැක්වේ.
සිරිපා මළුව ප්‍රදේශයේ හෝ විශ්‍රාම ශාලා ප්‍රදේශයේ සිඟමන් යැදීම හෝ සිඟමන් බෙදා දීම නොකළ යුතු වන අතර ආරක්ෂිත ස්ථාවලදි හැර දිය නෑම හෝ රේදි සේදීම නොකළ යුතු බව ද ගැසට් නිවේදනයේ සඳහන් වේ.
පෞද්ගලික ආයතන මගින් දිය නෑම හෝ රෙදි සේදීම සඳහා පහසුකම් සැලසීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා විධිමත් පුර්ව ලිඛිත අවසරයක් ලබාගත යුතුයි.
වන්දනා මාර්ගයේ හෝ සිරිපා මළුව පරිශ්‍රයේ විශ්‍රාම ශාලා අවට හෝ පරිසරයට පොලිතීන්, ප්ලාස්ටික් අවිධිමත් ලෙස බැහැර නොකල යුතු බව ද ගැසට් නිවේදනයෙන් අවධාරණය කෙරේ.
ශ්‍රීපාද අඩවිය තුළ කිසිම හේතුවක් නිසා ගින්නක් ඇතිවන ආකාරයේ ගිනිමැල සැකසීම හෝ ගිනි දැල්වීම සම්පුර්ණයෙන් තහනම් වේ.
සිරිපා මළුව, විශ්‍රාම ශාලා ප්‍රදේශයන්හි මෙන්ම ගමන් මාර්ගයේ ද සංචාරක වෙළෙඳාම ද තහනම් කර තිබේ.
මත්පැන්, දුම්වැටි, හෝ වෙනත් කිසිදු මත්ද්‍රව්‍යයක් ගමන් මාර්ගවල රැගෙන යාම හෝ වෙළෙඳසැල්වල තබා ගැනීම, විකිණීම , මිලදී ගැනීම හෝ භාවිත කිරීම තහනම් කර ඇත.
සෑම වෙළෙඳසැලකම හා ගොඩනැගිල්ලකම කසළ බඳුන් තැබිය යුතු අතර අපද්‍රව්‍ය සියල්ල එහි බහාලිය යුතු බව ද ගැසට් නිවේදනයේ දැක්වේ.
නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිපදිමින් බැතිමතුන් සිරිපා කරුණා කල යුතු බව ගැසට් නිවේදනය මඟින් අවධාරණය කර තිබේ.
ගැසට් නිවේදනය පහතින්