ඉන්දීයාවේන් ලැබෙන දුම්රිය එන්ජින් වලට කරන දේ?

ඉන්දීයාවේන් ලැබෙන දුම්රිය එන්ජින් දුරගමන් සේවා සහ භාණ්ඩ ප්‍රවාහනයට යෙදවීමට සැලසුම්

by Chathurika Jayasundara 14-12-2024 | 2:23 PM

COLOMBO (News1st) - ඉන්දීය පරිත්‍යාගයක් ලෙස ලැබෙන දුම්රිය එන්ජින් දුර ගමන් සේවා දුම්රිය සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සඳහා යෙදවීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එස්. මුදලිගේ මහතා සඳහන් කළේ දුම්රිය එන්ජින් 23ක් මෙරටට ලබා දීමට අදාළ ගිවිසුමට නුදුරේම අත්සන් කරන බවයි.

ඒ අනුව, අදාළ දුම්රිය එන්ජින් ඉදිරි මාස කිහිපය ඇතුළත මෙරටට ලැබෙනු ඇති.

සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ M10 වර්ගයේ මෙම දුම්රිය එන්ජින් වලින් වැඩි බර ප්‍රමාණයක් රැගෙන යා හැකි බවයි.

ඒ අනුව මෙම එන්ජින් යොදා ගනිමින් දැනට ධාවනය වන දුම්රිය එන්ජින්වල මැදිරි සංඛ්‍යාව වැඩි කිරිමට හැකියාව ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර දුම්රිය ප්‍රමාදය ඇතුළු ගැටළු 06 ක් සම්බන්ධයෙන් කඩිනමින් පිළියම් සෙවීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ අවධානය යොමුවී තිබේ.

ඒ අනුව අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ දුම්රිය ප්‍රමාදය, බඳවා ගැනීමේ ගැටලු, තාක්ෂණික ගැටලු, පීළි පැනීම් වළක්වා ගැනීම්, ටිකට් මිලදී ගැනීම්වල වංචා හා දුම්රියවාර අවලංගු වීම් වැනි හඳුනා ගත් ගැටලුවලට විසදුම් සොයන ලෙසයි.

ප්‍රවාහන අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා, දුම්රිය ප්‍රධානීන් හා දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදි මෙම උපදෙස් ලබා දී තිබේ.