දුම්රිය ආසන වෙන් කිරීමක් ගැන පැමිණිල්ලක්...

දුම්රිය ආසන වෙන් කරන ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්

by Chathurika Jayasundara 11-12-2024 | 4:16 PM

COLOMBO (News1st) - දුරගමන් සේවා දුම්රියවල ආසන වෙන් කරන ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි කළ බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ, කිසියම් කණ්ඩායමක් විසින් Online ඔස්සේ දුම්රිය ආසන වෙන් කරන ප්‍රවේශ පත්‍ර බහුතරයක් මිලදී ගෙන පසුව ඒවා දෙස් විදෙස් සංචාරකයින්ට වැඩි මුදලට විකුණන බවට පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.

මේ තුළින් සත්‍ය වශයෙන්ම සංචාරයේ යෙදෙන්නන්ට ඉන් දැඩි  පීඩාවක් සිදුවන බව ද නියෝජ්‍ය අමාත්‍යරයා පෙන්වා දී ඇත.

ඔහු සඳහන් කළේ, එම ක්‍රියාවේ නිරත පුද්ගලයින්ගේ දුරකතන අංක ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි.

ඒ අනුව අදාළ වංචාවේ නිරත වූ සියලු පුද්ගලයින් කඩිනමින් නීතියේ රැහැණට යොමු කර ගත හැකි බව ද ඔහු සඳහන් කළේ ය.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේ, වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර පරීක්ෂාව දැඩි කරන ලෙස ද උපදෙස් දී ඇති බවයි.