වරාය ව්‍යාපෘතියට අදානි ඉල්ලූ ණය ඉල්ලීම අස් කරගනී..

ඉන්දියාවේ අදානි කොළඹ වරාය ව්‍යාපෘතියට අමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය අරමුදලෙන් ඉල්ලූ ඩොලර් මිලියන 553ක ණය ඉල්ලීම ඉල්ලා අස් කරගනී..

by Staff writer 11-12-2024 | 9:55 AM

COLOMBO (News 1st) - ඉන්දියාවේ අදානි සමාගම කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්ත ව්‍යාපෘතිය සඳහා "අමෙරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන්" ණය මුදලක් ලබා ගැනීමට කර තිබු ඉල්ලීම ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර තිබේ.

ඩී එෆ් සීහෙවත්, අමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව යනු අමෙරිකානු රජයේ සංවර්ධන මූල්‍ය ආයතනයයි.

වර්තමානයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන තීරණාත්මක අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා පෞද්ගලික අංශය සගෙ එක්ව මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම මේ හරහා සිදුවේ.

පසුගිය වසරේදී අමෙරිකාවේ මෙම මූල්‍ය සංස්ථාව නිවේදනය කළේ, ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් මිලියන 553ක ණය මුදලක් ලබා දිය හැකි බවයි.

ඉන්දියාවේ අදානි සමුහ ව්‍යාපාරයේ කොටසක් වන "අදානි පෝට්ස් ඇන්ඩ් ලොජිස්ටික්ස්" සහ "SEZ ලිමිටඩ්" යන සමාගම් මෙම ණය මුදල ඉල්ලුම් කර තිබුණි.  

කෙසේ නමුත් ණය ඉල්ලීම, ඉල්ලා අස්කර ගනිමින් අභ්‍යන්තර උපචිත සහ ප්‍රාග්ධන කළමනාකරණ සැලැස්මක් හරහා කොළඹ වරාය බටහිර පර්යන්ත ව්‍යාපෘතියට මුදල් සපයා ගැනීමට බලාපොරොත්තු වන බව ද අදානි  සමාගම නිවේදනය කර ඇත.

පසුගිය දා අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි සහ තවත් 7දෙනෙකුට එරෙහිව අමෙරිකානු බලධාරීන් විසින් ඩොලර් මිලියන 265ක අල්ලස් ගනුදෙනුවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළහ.

අදානි සමාගම ණය ඉල්ලීම, ඉල්ලා අස්කරගෙන ඇත්තේ මෙවැනි පසුබිමක වීම විශේෂත්වයකි