20යි 20 ක්‍රිකට්: ඉහළම ලකුණු පුවරුව ඉන්දියාවෙන්

20යි 20 ක්‍රිකට් තරග ඉතිහාසයේ ඉහළම ලකුණු පුවරුව ඉන්දියාවෙන්

by Staff writer 05-12-2024 | 1:54 PM

COLOMBO (News 1st) - පන්දුවාර 20 ක්‍රිකට් තරගයකදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු වාර්තාව පසුකර යාමට අද (05) ඉන්දීය දේශීය ක්‍රිකට් තරගාවලියකදී බාරෝඩා කණ්ඩායම සමත් විය.

ඒ, ඉන්දීය දේශීය ක්‍රිකට් තරගාවලියක් වන සෙයියඩ් මුෂ්ටක් අලී කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සික්කිම් කණ්ඩායමට එරෙහිව ලකුණු 349ක් රැස් කරමිනි.

ඉන්දියාවේ ඉන්දෝර්හිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් බාරෝඩා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 349කි.

මින් පෙර පන්දුවාර 20 තරගයක ඉහළම ලකුණු වාර්තාවට හිමිකම් කීවේ සිම්බාබ්වේ කණ්ඩායමයි.

ඒ, ගැම්බියාවට එරෙහිව පැවති තරගයකදී ලකුණු 344 ක් රැස් කරමිනි.

පන්දුවාර 20යි 20 තරගයක කණ්ඩායමක් විසින් රැස් කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව ද බාරෝඩා කණ්ඩායම තමන් සතු කර ගත්තේ ය.

ඒ ඉනිමේදි හයේ පහර 37 ක් රැස් කරමිනි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ භානු පනියා ලකුණු 134 ක් රැස් කළේ පන්දු 51 ක් පමණක් වැය කරමිනි.

ලකුණු 350ක ඉලක්කයක් හඹා ගිය සික්කිම් කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 86 ක් පමණි.