ඒ , ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගම ගොනු කළ රිට් පෙත්සම අද කැඳවු අවස්ථාවේදී ය.
රජයට ගෙවීමට ඇති සම්පූර්ණ හිඟ බදු මුදල මේ මස 30 වන වැනිදාට පෙර නොගෙවන්නේ නම්, දැනට නිකුත් කර තිබෙන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දන්වමින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් තම සමාගම වෙත නිකුත් කර තිබෙන ලිපිය බල රහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගම ගොනු කළ රීට් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දීමකින් තොරවම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේ ය.
පෙත්සම කැඳ වූ අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා කියා සිටියේ, ඉකුත් නොවැම්බර් මස 30 වැනිදාට පෙර හිඟබදු ගෙවා අවසන් නොකළහොත් දැනට නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බවට සුරා බදු දෙපාර්තමේන්තුව විසින් තම සේවා දායකයා වෙත නිකුත් කර තිබෙන ලිපිය නීතියට පටහැනි බවයි.
දෙසැම්බර් 31 වැනිදා දක්වා මත්පැන් නිෂ්පාදන කටයුතු සිදු කිරීමට තමන්ට බලපත්‍ර නිකුත් කර තිබියදී හදිසියේ මේ ආකාරයෙන් නොවැම්බර් මස 30 වැනිදා ඒවා අත්හිටුවන බව දැන්වීම අත්තනෝමතික ක්‍රියාවක් බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
තම සේවාදායකයා විසින් ගෙවීමට තිබෙන රුපියල් බිලියන 5.3ක හිඟ සුරා බදු මුදල් සහෝදර සමාගමක් වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් මේ වන විට මහ බැංකුව විසින් තහනමට ගෙන තිබෙන රුපියල් බිලියන 12 කට අධික මුදල්වලින් ගෙවා දැමීමට හැකියාව තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ ය.
ඒ අනුව ශ්‍රී ලංකා මහා බැංකුව විසින් රඳවාගෙන සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් මුදල් වලින් මෙම බදු මුදල් ගෙවීම සඳහා ප්‍රතිපාදන මුදාහරින ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
නමුත් එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය සිය විරෝධය පළ කළේ ය.