පීඩාවට පත් ජනතාව සොයා ගිය සිරස-ශක්ති සහන යාත්‍රාව

කාලගුණයෙන් පීඩාවට පත් අපේම ජනතාව සොයා ගිය සිරස - ශක්ති සහන යාත්‍රාව

by Hashini De Mel 03-12-2024 | 9:01 PM

COLOMBO ( News 1st ) - වැසි සහිත කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසනු පිණිස සිරස ශක්ති මාධ්‍ය ජාලය සංවිධානය කළ සිරස - ශක්ති සහන යාත්‍රාව අද(03) පෙරවරුවේ බ්‍රේබෲක් පෙදෙසේ පිහිටි මූලස්ථාන පරීශ්‍රයෙන් ගමන් ආරම්භ කළේ ය.

මේ වනවිට ඔවුන් උතුරු නැගෙනහිර ප්‍රදේශ ගණනාවක ජනතාවට ද්‍රව්‍යාධාර බෙදා දෙමින් සිටි.

වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් සහන යාත්‍රා කණ්ඩායම අද(03) උදෑසනින්ම කොළඹින් ගමන් ඇරඹුවේ සර්වාගමික ආශිර්වාද ලබාගනිමිනි.

ගම්මැද්ද නායක, සිරස - ශක්ති මාධ්‍ය ජාලයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල් මහතා ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් සහ සිරස ශක්ති කාර්ය මණ්ඩලය මේ අවස්ථාවට එක්ව සිටියහ.

පසුගිය දින දෙක තුළ කොළඹ යූනියන් පෙදෙසේ සිරස ටීවී මූලස්ථාන පරිශ්‍රය, බම්බලපිටිය කදිරේසන් වජිර කෝවිල, දෙහිවල ශ්‍රී වෙන්කටේශ්වර මහා විෂ්ණු කෝවිල, කොළඹ නව හෙට්ටි වීදියේ සායි මධ්‍යස්ථානය සහ කොළඹ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයට පැමිණි ජනතාව ආපදාවලින් පීඩාවට පත්වූවන්ට  බෙදා දීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කළේ ය.

එම ද්‍රව්‍ය රැගත් කණ්ඩායම් 4ක් මන්නාරම, මඩකලපුව, මුලතිව් සහ අම්පාර  දිස්ත්‍රික්කවලට ගොස් සහන ඇවැසි ජනතාවට බෙදා දේ.

උදෑසන ගමන් ආරම්භ කළ පිරිස, අද(03) පස්වරුවේ අදාළ ස්ථානවලට පැමිණි අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ සෙන්කලඩි කලුවන්කේනි ප්‍රදේශවල පීඩාවට පත්ව සිටි  ජනතාවට ද්‍රව්‍යාධාර බෙදා දුන්නේ ය.

අප වාර්තාකරුවන් පැවසුවේ, මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජනතාවට ද සහන යාත්‍රාවෙන් ද්‍රව්‍ය ලබා දුන් බවයි.

සහන යාත්‍රාව මේ වනවිට අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවල පීඩාවට පත්වූවන් වෙත යමින් සිටිති.