COLOMBO (News 1st) –
ලෝක බැංකුවේ ඒකාබද්ධ දකුණු ආසියාවේ කාර්යාලය සඳහා සත්කාරකත්වය සැපයීමට ශ්‍රී ලංකාව තෝරාගෙන ඇතැයි ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා පවසයි.මාර්ගගත ක්‍රමය ඔස්සේ ඊයේ පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සාකච්ඡාවක නිරතවූ ලෝකබැංකු සභාපතිවරයා සදහන් කළේ, ලොව පුරා රටවල් 20 ක් අතරට ශ්‍රී ලංකාව තෝරාගෙන ඇති බවයි.
2025 ජූලි 25 වැනිදා ලෝක බැංකුවේ ඒකාබද්ධ දකුණු ආසියාවේ කාර්යාලය විවෘත කිරීමට නියමිතයි.
ලෝක බැංකු සමූහය යටතේ පවතින නැවත ගොඩනැගීම හා සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව, ජාත්‍යන්තර සංවර්ධන සංගමය, ජාත්‍යන්තර මූල්‍ය සමායතනය සහ බහුපාර්ශ්වික ආයෝජන ඇපකර නියෝජිතායතනය යන ආයතන අතර සම්බන්ධීකරණය එම කාර්යාලයෙන් සිදු වෙයි.
ජනාධිපතිවරයා සහ ලෝක බැංකු සභාපතිවරයා අතර ඊයේ පැවති සාකච්ඡාවේදී නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ඉදිරි සංවර්ධන අභියෝග ජය ගැනීමට ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සහය පිළිබඳවද අවධානය යොමුවී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජ ආරක්ෂණය හා ආර්ථික සංවර්ධනය වැනි අංශවල නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මූල්‍ය සහ තාක්ෂණික උපකාර සැපයීම කෙරෙහිද මෙහිදී සාකච්ඡා කළ බවයි.
ආර්ථික ප්‍රතිපත්ති, මූල්‍ය, තරගකාරීත්වය, ආයෝජන, ආයතනික සංවර්ධනය සහ දිළිඳුකම පිටුදැකීම ඇතුළු කාර්යයන් සඳහා මේ වනවිට ලෝක බැංකුව ශ්‍රී ලංකාවට සහය ලබා දෙයි.
ඉදිරියේ දී කෘෂිකාර්මික ක්ෂේත්රයේ ප්‍රවර්ධනය, ජල කළමනාකරණය, ආරක්ෂාව, පාරිසරික ස්ථාවරභාවය, සමාජ සංවර්ධනය, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ඩිජිටල් පරිවර්තනය දක්වා එම සහය ව්‍යාප්ත කිරීමට ඊයේ පැවති සාකච්ඡාවේදී අවධානය යොමුකර තිබේ.