IMF ප්‍රධානියා දුන් සහතිකය..

ශ්‍රී ලංකාව සමග තවදුරටත් ක්‍රියාශීලී පාර්ශවකරුවෙක් වෙනවා.. - IMF කියයි

by Staff writer 27-11-2024 | 10:21 PM

COLOMBO ( News 1st ) - ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව හා එහි ජනතාව සමග රැඳී සිටිමින් තවදුරටත් ක්‍රියාශිලි පාර්ශ්වකරුවෙකු වන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය තහවුරු කර සිටී.

ඉහළ වර්ධනයක් හා තිරසර ආර්ථිකයක් වෙනුවෙන් වූ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අඛන්ඩව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධිෂ්ඨානය ශ්‍රී ලංකා බලධාරීන් විසින් නැවත කහවුරු කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය කමිටුව වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඇය පවසයි.

නිල ණය හිමියන්ගේ හා ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල සහය අඛණ්ඩව ශ්‍රී ලංකාවට ලැබෙන බව ඇය අවධාරණය කරයි.

ණය තිරසරභාවය වෙනුවෙන් බැඳුම්කර හිමියන්ගේ සහභාගීත්වය සහිතව කටයුතු කිරීම තුළින් ප්‍රතිසංස්කරණ ප්‍රයන්තයන් සාර්ථක කරගනු ඇතැයි ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මියගේ අදහසයි.

ණය තිරසරකරණ මෙහෙයුම්,  ණය හිමියන්ගේ සහභාගීත්වය සහිතව සාර්ථක කර ගැනීම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ සාර්ථකත්වයට අතිශය වැදගත් බවද ඇය පෙන්වා දෙනු ලබයි.

ඊට සමගාමීව අනෙකුත් ණය ප්‍රතිව්‍යූහකරණ ගිවිසුම් සම්පූර්ණ කර ගැනීමද, සිදුවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මතය වේ.

එම සාමූහික ප්‍රයන්තයන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ප්‍රයන්තයන්වල සාර්ථකත්වයට සහයක් වන බව ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය පවසයි.

මේ අතර  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංක දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතා නිවුස් ෆස්ට් වෙත කියා සිටියේ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළඹීමට පෙර තමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සිදුකළ සාකච්ඡාව ඵලදායි බවයි.

එමගින් විස්තීරණ ප්‍රතිසංස්කරණ පැකේජයට එකගතාවය පළවූ බව ඔහු අවධාරණය කර සිටී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයකයින් විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහනට අදාළ ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකාවේ ආර්ථික අභිලාෂයන්ට ගැළපෙන අයුරින් කඩාකප්පල් නොවී ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවට පීටර් බෘවර් මහතා වැඩිදුරටත් විශ්වාසය පළ කරයි.