රනිල් වගඋත්තරකරුවෙකු කළ පෙත්සම

මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව හිටපු ජනපති රනිල් වගඋත්තරකරුවෙකු කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර...

by Staff writer 27-11-2024 | 5:53 PM

COLOMBO (News 1st) - පසුගිය පාලන සමයේ පුරප්පාඩුව පැවැති අභියාචනාධිකරණ විනිසුරු ධුර සඳහා විනිසුරුවරු පත් නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) අවසර ලබා දුන්නේ ය.

ඒ  2008 සිට 2010 දක්වා ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ෆීජි ජනරජය සහ පැපුවා නිව්ගිනියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් සහ ජනාධිපති නීතිඥ සේනක වල්ගම්පාය මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමක් අද නැවත කැඳවූ අවස්ථාවේදියි.

පෙත්සම ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ කැඳවූහ.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ඥානරාජ් මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සමේ වගඋත්තරකාරුවකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට අවසර ලබා දුන්නේ ය.

එසේම ඒ සම්බන්ධයෙන් විරෝධතා තිබේ නම් ඒවා සති හතරක් තුළ ගොනු කිරීමට ද අදාළ පාර්ශ්වයන්ට අධිකරණයෙන් කාලය ලබා දුන්නේ ය.

පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණයේ විනිසුරු ධුර සඳහා විනිසුරුවරු පත්නොකිරීම තුළින් ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා  පෙත්සම ගොනු කර තිබේ.

එමගින් අවධාරණය කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු කිහිපයක් පිරවීමට අපොහොසත් වීම හේතුවෙන් යුක්තිය පසිඳලීම සඳහා විනිසුරුවරුන්ගේ හිඟයක් ඇති වී තිබෙන බවයි.

ඒ තුළින් ජනතාවගේ අධිකරණ බලය දැඩි ලෙස හෑල්ලූවට ලක් කර ඇති අතර යුක්තිය ප්‍රවේශ වීමට මහජනතාවගේ අයිතියට අවහිර කර ඇති බව ද, පෙත්සම්කරු පෙන්වා දෙයි.

පෙත්සම  මාර්තු මස 10  වැනිදා යළි කැඳවීමට නියමිතයි.