COLOMBO (News 1st) - නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා අද (27) තවදුරටත් තීව්ර වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හේතුවෙන්, උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකිය.
ඊට අමතරව බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි වේ.
මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකියි.
නැවත දැනුම් දෙනතුරු තවදුරටත් මුහුදු යාමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.
එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අද (27) සහ හෙට (28) ඇති විය හැකි අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් නිකුත් කරන නිවේදන පිළිබඳව සැළකිලිමත් වන ලෙසයි.
මේ අතර අධික වර්ෂාවත් සමග නිල්වලා ගඟ, තල්ගහගොඩ ප්‍රදේශයෙන්, මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන්, මා ඔය යකාවැව ප්‍රදේශයෙන් සහ යාන් ඔය හොරොව්පතාන ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමට ළඟා වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඊට අමතරව කැලණි ගඟ, කොලොම්බුව ප්‍රදේශයෙන් ද සුළු ගංවතුර මට්ටමට ළඟා වෙමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අධික වර්ෂාවත් සමග ඉදිරි පැය 48 තුළ මල්වතු ඔය ආශ්‍රිතව ද ගංවතුර අවදානමක් ඇති විය හැකි බවයි.
වර්ෂාවත් සමග දැදුරු ඔය, රාජාංගනය, කවුඩුල්ල, යාං ඔය, පරාක්‍රම සමුද්‍රය ඇතුළු ජලාශ රැසක් මේ වන විටත් වාන් දමමින් පවති.
ජලාශ පහළ ජීවත් වන ජනතාව ඒ පිළිබඳව දැඩිව අවධානය යොමු කරන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළේ ය.
මේ අතර පවතින අධික වැසි සහිත කාලගුණයෙන් දිස්ත්‍රික්ක 15කට බලපෑම් එල්ලවී ඇත.
එහි පවුල් 22,532ක පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 77670කි.
අධික වැසි සහිත කාලගුණය හමුවේ ඇති වූ ආපදාවලින් පුද්ගලයෙකුට දිවි අහිමිවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.
මේ අතර පවතින අධික වර්ෂාව දිස්ත්‍රික්ක 3ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා නාය යෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ නාය යෑමේ රතු නිවේදන නිකුත් කෙරුණේ හාරිස්පත්තුව, මැදදුම්බර, ගඟවට කෝරලය, උඩුදුම්බර, දොළුව, යටිනුවර, උඩපලාත, පාත හේවා හැට, උඩුනුවර දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටයි.
මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල , යතාවත්ත , රත්තොට , විල්ගමුව , අම්බාන්ගග කෝරලය , ලග්ගල, පලේලේගම, පල්ලේපොල සහ නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නාය යෑමේ පිළිබඳ රතු නිවේදනය නිකුත් කෙරුණි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නාය යෑමේ රතු නිවේදනය නිකුත් කර ඇත්තේ, වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහායි.
මේ අතර බදුල්ල, කෑගල්ල, කුරුණෑගල, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා ද නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි.