ඇමති විෂය පථ ඇතුළත් ගැසට් පත්‍රය ප්‍රසිද්ධ කෙරේ

ඇමති විෂය පථ ඇතුළත් ගැසට් පත්‍රය ප්‍රසිද්ධ කෙරේ...

by Staff writer 26-11-2024 | 8:44 PM

COLOMBO ( News 1st ) - නව රජයේ අමාත්‍යාංශවලට අදාළව විෂය පථ සහ ආයතන වෙන් කරමින්, ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ගැසට් නිවේදනයට අනුව ජනාධිපතිවරයා යටතේ ඇති අමාත්‍යාංශ තුනට අදාළ ආයතන ගණන 94 ක්.

ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශයට , විෂය පථයන් 31 යටතේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය බුද්ධි සේවය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ආරක්ෂක විද්‍යාලය ඇතුළු ආයතන 25 ක් ඇතුළත් වේ.

මුදල් , ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයත් ජනාධිපතිවරයා යටතේ පවතින අතර ඊට ඇතුළත් ආයතන ගණන  62 කි.

ශ්‍රී ලංකා මහබැංකුව, රාජ්‍ය බැංකු, ආනයන අපනයන දෙපාර්තමේන්තුව, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව එම ආයතන අතරට ඇතුළත් ය.

මීට අමතරව මහජන උපයෝගිතා කොමිසම, කොළඹ වරාය නගර ආර්ථික කොමිසම, මාගම්පුර වරාය කළමනාකරණ සමාගම, ශ්‍රී ලංකන් හා මිහින් ලංකා සමාගම්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, හෝටල් ව්‍යාපෘතියක් යටතට ගැණෙන කැන්විල් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම සහ සේවක භාරකාර අරමුදල ද ගැසට් කර ඇත්තේ මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ය.

ජනාධිපතිවරයා යටතේ ඇති ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතට ශ්‍රී ලංකා ටෙලිකොම් පාලිත සමාගම්, පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, දත්ත ආරක්ෂණ අධිකාරිය, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ විදුලි සංදේශ නියාමන කොමිසම ඇතුළු ආයතන 7 ක් ඇතුළත්.

ලංකා විදුලි සමාගම, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්තිය අධිකාරිය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය ඇතුළු ආයතන 12 ක් ඇතුලත් කර ඇත්තේ, බලශක්ති අමාත්‍යවරයා යටතට යි.

උමාඔය, මොරගහකන්ද, කළු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ හා මල්වතු ඔය ව්‍යාපෘති කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය යටතට පත්කර තිබේ.

ඉංජිනේරු උපදේශන කාර්යාංශය හා පාලිත සමාගම් ඇතුළු ආයතන 29 ක් එම අමාත්‍යාංශයට අයත් වේ.

නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය ඇතුළු ආයතන 26 ක්  අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය යටතට පවරා ඇත.

විභාග දෙපාර්තමේන්තුව, යුනෙස්කෝ ජාතික කොමිසම, රාජ්‍ය මුද්‍රණ සංස්ථාව, වෘත්තීය පුහුණු අධිකාරිය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතන සහ සමාගම් 26 ක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශට ඇතුළත් වේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඇතුළු ආයතන 6 ක් ඇතුළත් වන්නේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට ය.

ලංකා සතොස, මහපොළ භාරකාර අරමුදල, පාරිභෝගික කටයුතු අධිකාරිය ඇතුළු තවත් ආයතන 17 ක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ගැසට් කර තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයට ආයතන 41 ක් ඇතුළත් ය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිසම, ජාතික සෞඛ්‍ය ආයතනය, දුම්කොළ පිළිබඳ ජාතික අධිකාරිය, 1990 සුවසැරිය පදනම 
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ජාතික ඖෂධ නියාමනය, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තැපැල් දෙපාර්තමේන්තුවද ඊට අයත් වේ.‍

සිවිල් ගුවන් සේවා අධිකාරිය ගුවන් තොටුපොළ හා ගුවන් සේවා අධිකාරිය ඇතුළත් වන්නේ, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ විෂය පථයටයි.

එම අමාත්‍යාංශයට අයත් මුළු ආයතන ගණන 16කි.

ශ්‍රී ලංකා පොලීසිය, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 5ක් මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතට පවරා තිබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇති ආයතන ගණන 9 කි.

ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය,  ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධනය කාර්යාංශය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියද ඊට ඇතුළත් වේ.‍

පරිසර අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇති ආයතන ගණන 12 ක් අතර වන සංරක්ෂණ, වන ජීවි හා ජල සම්පත් මණ්ඩලයද ඒ අතර වේ.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ගණන 19 ක් වන අතර සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් සමාගම, කොළඹ නෙළුම් කුළුණ සමාගම හා ඉංජිනේරු සංස්ථාවද ඊට ඇතුළත්ය.

පළාත් පාලන සේවය, විශ්‍රාම වැටුප් අරමුදල,  සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ආණ්ඩුකාරවරු රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ගැසට් කර තිබේ.

කර්මාන්ත, ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතට අපනයන සංවර්ධන මණ්ඩලය පත්කර ඇති අතර එම අමාත්‍යාංශයට අයත් ආයතන ගණන 34 කි.

අති විශේෂ ගැසට් නිවේදනයට අනුව  සමාජ ආරක්ෂණ මණ්ඩලය හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළත්කර ඇත්තේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතට යි.