රවී ජාතික ලැයිස්තු අසුනට නම් දුන් බව රනිල් දන්නෑ

රවී කරුණානායක ජාතික ලැයිස්තු අසුනට නම් දුන් බව රනිල් දැන සිටියේ නෑ - වජිර ලිපියකින් අනාවරණය කරයි

by Staff writer 22-11-2024 | 6:13 AM

COLOMBO (News 1st) –නව ප්‍රජාතන්ද්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසටම යැවූයේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද දැනුම් දීමෙන් පසුව බවට සිදු කරන ලද ප්‍රකාශය අසත්‍ය බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.  

ඔහු මේ බව සඳහන් කළේ , නිවේදනයක් නිකුත් කරමින් ය.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රවී කරුණානායක මහතාගේ නම, මැතිවරණ කොමිසමට යැවීම සම්බන්ධයෙන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු පූර්ව දැනුම්දීමක් කර නොතිබුණු බව වජිර අබේවර්ධන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, මහ මැතිවරණයෙන් ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයෙකුට ලබාදීමට එකඟතාවකට පැමිණ තිබූ බවට කෙරෙන ප්‍රකාශයද පදනම් විරහිත බවයි.

නොවැම්බර් මස 16 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී තීරණ කර තිබුණේ නොවැම්බර් මස 19 වැනි දින පැවැත්වෙන සාකච්ඡාවේදී ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර පිරවීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බව යැයි අබේවර්ධන මහතාගේ නිවේදනයේ සඳහන් ය.