ටැම්වත්ත ගමේ හැමෝටම අද සතුටු දවසක්..

පිරිසිදු දිය පොදක් නැතිව වසර ගණනාවක් දුක් විඳපු ටැම්වත්ත ගමේ හැමෝටම අද සතුටු දවසක්..

by Hashini De Mel 22-11-2024 | 10:07 PM

COLOMBO ( News 1st) - මොණරාගල, ටැම්වත්ත ශාස්ත්‍රාලෝක මහා විද්‍යාලයට සහ ටැම්වත්ත ගම්වැසියන් වෙනුවෙන් ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජල පෙරණ පද්ධතිය ජනතා අයිතියට පත්කිරීම අද(22) පෙරවරුවේ සිදු කෙරුණි.

ඒ , ගම්මැද්ද තවත් ප්‍රජා ව්‍යපෘතියක් ලෙසයි.

මොණරාගල දිස්ත්‍රික්කයේ ටැම්වත්ත ග්‍රාම නිලධාරී වසමට අයත් මොණරාගල ශාස්ත්‍රාලෝක මහා විද්‍යාලය දරුවන් 130 ක් පමණ ඉගෙනුම ලබන පාසලකි.

මේ පාසලේ දරුවන් වගේම මොණරාගල නක්කල ටැම්වත්ත ගම්මානයේ පවුල් 650ක් පමණ කලක සිට පීඩා විඳන ප්‍රධානතම ගැටලුවක් වුණේ පිරිසිදු පානීය ජලය නොමැති වීමයි.

මේ හේතුවෙන් පාසලේ ඉගෙනුම් කටයුතුවලට සහ ගම්මුන්ගේ එදිනෙදා කටයුතු සඳහා ද බාධා එල්ල විය.

ආර්ථික අපහසුතා රැසක් මැද දිවිසරි කර ගන්නා ගම්මුන්ට සිදුව තිබුණේ කලක් තිස්සේ මුදලට ජලය ලබා ගැනිමයි.

මේ හේතු හඳුනා ගත් ගම්මැද්ද කණ්ඩායම ශාස්ත්‍රාලෝක මහා විද්‍යාලයටත් ටැම්වත්ත ගම්මානයේ ජනතාවටත් භාවිත කළ හැකි වන පරිදි ප්‍රතිආශ්‍රැති ජල පෙරණ පද්ධතියක් ඉදි කළ අතර එය අද පෙරවරුවේ ගම්වාසීන්ගේ අයිතියට පත් කළේ ය.

ඒ ඊට මූල්‍ය දායකත්වය ලබා දුන් කොළඹ 07 පදිංචි සරෝජිනි මුණසිංහ මහත්මිය සහ ඒ.එච්.මුණසිංහ මහතා යන දෙපළයි.

එම අවස්ථාවට NEWS FIRST සහකාර කළමණාකරු වින්දන ප්‍රසාද් කරුණාරත්න, ගම්මැද්ද මහ ලේකම් ප්‍රසන්න අතුකෝරාළ, මොණරාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හර්ෂනී සමිරා යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.