ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසි...

ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසි....

by Staff writer 18-11-2024 | 6:11 AM

COLOMBO (News 1st) –පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 5 ක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ⁠අත්තනගල්ල, කෑගල්ල දිස්ත්‍රික්කයේ ⁠බුලත්කොහුපිටිය, ⁠යටියන්තොට, ⁠රුවන්වැල්ල, ⁠දෙහිඹ්විට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, ⁠මාවතගම, මාතලේ දිස්ත්‍රික්කයේ ⁠අඹන්ගඟ කෝරළය, මාතර දිස්ත්‍රික්කයේ ⁠වැලිපිටිය, ⁠කොටපල හා පස්ගොඩ ප්‍රදේශ සඳහා අද පස්වරු 4 තෙක් අදාළ නිවේදනය වලංගු වන බවයි.

මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.