AL උපකාරක පන්ති හෙට මැදියම් රැයෙන් පසු තහනම්..

උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ හෙට මැදියම් රැයෙන් පසු තහනම්..

by Staff writer 18-11-2024 | 6:02 AM

COLOMBO (News 1st) – 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාගය අවසන් වනතුරු එම තහනම ක්‍රියාත්මක වනු ඇති.

එම උපදෙස්  පිළි නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

නොවැම්බර් මස 25 වැනිදා ආරම්භ වීමට නියමිත මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන මස 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව, 333,185කි.

ඒ අතරට පෞද්ගලික අයදුම්කරුවන් 79,795 ක් ඇතුළත් ය.