චීන-අමෙරිකා ජනපතිවරුන් අතර හමුවක්..

චීන-අමෙරිකා ජනපතිවරුන් අතර හමුවක්..

by Staff writer 17-11-2024 | 2:23 PM

COLOMBO (News 1st) –චීන ජනාධිපති ෂී ජින්පිං හා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හමුවී තිබේ.

ඒ, ඊයේ(16) පේරු රාජ්‍යයේ ලීමා නගරයේ දී ය.

ගතවූ වසර 4 තුළ, චීන - අමෙරිකානු සබඳතා අසීරුතා මධ්‍යයේ වුවද සමස්තයක් වශයෙන් ස්ථාවර මට්ටමක පැවති බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.

චීනයට එරෙහිව පීඩා එල්ල කිරීම යුක්ති සහගත නොවන අතර ඉන් සාර්ථකත්වයක් අත් කර ගත නොහැකි බවත් චීනය සෑමවිටම පොරොන්දු ඉටු කර ඇති බවත් චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.  

අමෙරිකාව නිරන්තරයෙන් ම සිය පොරොන්දු නොතකා විරෝධී ප්‍රතිපත්තියක සිටියි නම් ඇමරිකාවේ ස්වරූපයටත් දෙපාර්ශ්වයේ අන්‍යෝන්‍ය විශ්වාසයටත් එය හානිකර වෙයි.

සමානාත්මතාවය මත චීනය හා අමෙරිකාව එකිනෙකාට සැළකිය යුතු බව ද ෂී ජින්පිං මහතා සඳහන් කළේ ය.  

වර්තමාන ලෝකය කැළඹිලි තත්ත්වයන් රැසකට මුහුණ දෙන බවත් පෙර නොවූ විරූ අභියෝගයන්වලට මානව වර්ගයා මුහුණ දෙමින් සිටින බවත් ෂී ජින්පිං මහතා කියා සිටියේ ය.

විශාල රටවල් තරගකාරීත්වය මත නොසිටිය යුතු අතර, සාමූහිකව සහයෝගිතා පැවැත්වීමෙන් අසීරුතාවන් පරාජයට පත් කළ හැකි වෙයි.

ඇමරිකා රජය සමඟ අඛණ්ඩව සංවාද පවත්වමින් සහයෝගීතාව පුළුල් කරන අතර, මතභේද පාලනය කිරීමටත් අපේක්ෂා කරන බව ද ෂී ජන්පිං මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ ය.  

එහිදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා පැවසුවේ ‘නව සීතල යුද්ධය’ තම රට දියත් නොකරන අතර චීනයේ දේශපාලන ක්‍රමවේදය  වෙනස් කිරීමට මැදිහත් නොවන බවයි.

සන්ධාන සබඳතාව තහවුරු කිරීමෙන් චීනයට විරුද්ධ වීමක් සිදු නොකරන බවත් ‘තායිවාන ස්වාධීනත්වය’ට සහාය නොදක්වන බවත් චීනය සමග ගැටුම් ඇතිකර නොගන්නා බවත් හෙතෙම ප්‍රකාශ කර තිබේ.