ගුවන් යානා ප්‍රමාද ගැන දැනුවත් කිරීමට වැඩපිළිවෙලක්

ගුවන් යානා ප්‍රමාදයන් ගැන මගීන් දැනුවත් කිරීමට වැඩපිළිවෙලක්... කටයුතු සම්බන්ධීකරණයට විශේෂ ඒකකයක් ස්ථාපනයටත් ඇමති විජිතගෙන් උපදෙස්..

by Staff writer 11-11-2024 | 10:14 AM

COLOMBO (News 1st) -

ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාදවීම් සම්බන්ධයෙන් ක්ෂණිකව මගීන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි අමාත්‍ය විජිත හේරත් මහතා උපදෙස් ලබාදී තිබේ.

අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ, එම කටයුතු සම්බන්ධීකරණයට විශේෂ සම්බන්ධීකරණ ඒකකයක් පිහිටුවන ලෙසයි.

ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාදය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳව සොයා බැලීම සඳහා කටුනායක ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා එම උපදෙස් ලබා දී තිබේ.

පසුගිය පාලන සමයේ ගත් තීරණයක් මත 2023 වසරේදී ලබාදී ඇති රුපියල් 50,000ක ප්‍රසාද දීමනාව නැවත අඩුකිරීමට ගෙන තිබූ තීරණය පිළිබඳව එහිදී සේවකයින් අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

එම ගැටලුව කඩිනමින් විසඳන ලෙස උපදෙස් දී ඇති අමාත්‍යවරයා පවසා ඇත්තේ, එම මුදල් නැවත අයකර ගැනීම සදාචාර විරෝධී බවයි.

ඒ අනුව අදාළ මුදල් නැවත සේවකයන්ගෙන් අයකර නොගැනීමට ද එහිදී  තීරණය කර තිබේ.