අල්ලස් ගත් රේගු නිලධාරින් 04 කට සිර දඬුවම්

අල්ලස් ගත් රේගු නිලධාරින් 04 දෙනෙකුට වසර 35 බැගින් සිර දඬුවම්..

by Staff writer 06-11-2024 | 9:50 PM

COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් 4 දෙනෙකුට මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බණ්ඩාර බලල්ලේ මහතා අද වසර 35 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේ ය.

ඒ , අල්ලස් ලබා ගැනීම හා ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනාවලට වෙන් වෙන්ව වරදකරුවන් කරමින් ය.

2015 වසරේදී ලංකා ගමනා ගමන මණ්ඩලයට ලබා දීම සඳහා ආනයනය කළ වාහන අමතර කොටස් අඩංගු කන්ටේනර් රථ කිහිපයක් රේගුවෙන් මුදා හැරීම සඳහා රුපියල් කෝටි 15ක අල්ලසක් ඉල්ලීම සහ ඉන් කෝටි දොළහ හමාරක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වෙයි.

එමෙන්ම අල්ලස් ලෙස ලබාගත් රුපියල් කෝටි 12 හමාරක මුදල විත්තිකරුවන් සිව් දෙනාගෙන් වෙන් වෙන්ව දඩයක් ලෙස අය කර ගැනීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය. 

අල්ලස් පනතේ 26 වන වගන්තිය අනුව එම දඩ මුදල් නොගෙවන්නේ නම් වසර දෙක බැගින් වූ ලිහිල් සිරදඬුවම් ලබා දීමට ද විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේ ය.

එමෙන්ම පළමු විත්තිකරුට රුපියල් 27,000ක දඩ මුදලක් ද සෙසු විත්තිකරුවන් තිදෙනාට රුපියල් 25,000 බැගින් වූ දඩ මුදලක් ද වෙන් වෙන්ව ගෙවීමට ද විනිසුරුවරයා නියෝග කළේ ය.