COLOMBO (News 1st) - අමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම තවදුරටත් සිදුවෙමින් පවති.
විදෙස් වාර්තා පැවසුවේ, අද (06) උදෑසන 6.00 වනවිට කෙන්ටකි, ඉන්ඩියානා, දකුණු කැරොලිනා, උතුරු කැරොලිනා, වර්මොන්ට්, වර්ජිනියා බටහිර වර්ජිනියා,සහ ඔහායෝ යන ප්‍රාන්තවල ඡන්ද විමසීම අවසන් වූ බවයි.
කෙසේ නමුත් අමෙරිකාවේ වේලා කලාප කිහිපයක් ක්‍රියාත්මක බැවින් ඇතැම් ප්‍රාන්තවල ඡන්ද විමසීම අද පස්වරුව දක්වා සිදු කෙරෙනු ඇති.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තීරණාත්මක ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් එල්ල වූ යම් තර්ජන හේතුවෙන් එම මධ්‍යස්ථාන තාවකාලිකව වසා දැමීමට සිදු වූ බවයි.
කෙසේ නමුත් එම තත්ත්වයන් පහව ගිය පසු ඡන්දය ප්‍රකාශ කිරීමට බාධා වුණු ඡන්ද මධ්‍යස්ථාන, අමතර වේලාවක් සඳහා විවෘතව තැබුණු බව විදෙස් වාර්තාවල සඳහන් විය.
ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයෙකු වන රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප්, ෆ්ලොරිඩා ප්‍රන්තයේදී සිය ඡන්දය පළ කළේ ය.
කැලිෆෝනියා ප්‍රාන්තයේ ඡන්ද දායකයෙකු වන ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක කමලා හැරිස් ඊයේ සඳහන් කළේ, ඇය තැපෑලෙන් සිය ඡන්දය භාවිත කළ බවයි.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින නාසා ආයතනයේ ගගනගාමීන්ද සිය ඡන්දය පළ කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් විය.
CNN සහ BBC ඇතුළු විදෙස් මාධ්‍ය ඡන්දයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් අනාවැකි පළ කර ඇතත් මෙතෙක් නිල වශයෙන් කිසිදු ප්‍රතිඵලයක් නිකුත් කර නැත.