අභියාචනා අධිකරණය ස්ථීර කළ, හිටපු ඇමතිගේ දඬුවම...

හිටපු නියෝජ්‍ය ඇමති ශාන්ත ප්‍රේමරත්නගේ සිර දඬුවම අභියාචනාධිකරණය ස්ථීර කරයි..

by Staff writer 05-11-2024 | 6:45 PM

COLOMBO (News 1st) - හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතාට කොළඹ මහාධිකරණය නියම කර තිබූ වසර 04ක බරපතළ වැඩසහිත සිර දඬුවම අභියාචනාධිකරණය අද (05) තහවුරු කළේ ය.

ඒ, එම දඬුවමින් තමා නිදොස් කොට නිදහස් කරන්නැයි, ශාන්ත ප්‍රේමරත්න මහතා ගොනු කර තිබූ අභියාචනා පෙත්සමක තීන්දුව ලබා දෙමිනි.

සම්පත් අබේකෝන් සහ පී. කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝගය ලබා දුන්නේ ය.

පුත්‍රයාට විදුලි බල මණ්ඩලයේ රැකියාවක් දීමට මවගෙන් රුපියල් පනස් දහසක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතාට කොළඹ මහාධිකරණය එම සිර දඩුවම් නියම කළේ ය.

අභියාචනාධිකරණයේ විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේ මහාධිකරණ විනිසුරුවරයා සාක්ෂිවල පරස්පරතා ඉතා පැහැදිලිව විශ්ලේෂණය කර ඇති බව නිගමනය වන බවයි.

මෙම තත්ත්වය අනුව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශයට පත් කළ තීන්දුව වෙනස් කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ ය.