හිටපු ජනපතිනියගේ සැකය...

තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ගැන හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්...

by Staff writer 05-11-2024 | 9:26 PM

COLOMBO (News 1st) - තම ස්වාමිපුරුෂයා වූ විජය කුමාරතුංග මහතා දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදි තමාව ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි, සැක මතුව තිබෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ සිය ආරක්ෂාව පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතාට ලිපියක් යොමු කරමිනි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් හේමසිරි මහතා ඔක්තෝබර් මස 31 වැනි දින නිකුත් කළ ලිපියකින් 50 දෙනෙකුගෙන් යුත් තම ආරක්ෂක පිරිස 30 දක්වා අඩු කිරීමට නියම කර ඇති බව හිටපු ජනාධිපතිනිය සිය ලිපියේ සඳහන් කර තිබේ.

ඇය පවසන්නේ අනෙකුත් හිටපු ජනාධිපතිවරුන්ට 243 දෙනෙකු සහ 200 දෙනෙකුගෙන් සහ 109 දෙනෙකුගෙන් යුත් ආරක්ෂක කණ්ඩායම් ලබාදෙන අතර, තමාට පමණක් ආරක්ෂකයින් 30ක් ලබාදීමට තීන්දු කළේ කුමන නිර්නායකයන්ට අනුව දැයි  ප්‍රහේළිකාවක් බවයි.

විශ්‍රාමික ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් වැඩිම තර්ජන තිබෙන්නේ තමාට බවත්, ඝාතන උත්සාහයකට ලක්ව තුවාල ලැබූ එකම ජනාධිපති තමා බවත් හිටපු ජනපතිනිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට යැවූ ලිපියේ දැක්වේ.

විශ්‍රාම ලබා සිටියත් කෙසේ හෝ ඝාතනය කරන බවට LTTE සංවිධානය විසින් 2006 සහ 2014 යන වසරවල ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කර ඇති බව පොලිස් බුද්ධි වාර්තාවලින් තමාට දන්වා ඇතැයි ද හිටපු ජනාධිපතිනියගේ ලිපියේ දක්වා ඇත.

මේ අතර වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කර නොමැති බවයි.

කරුණු සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාව මහජන ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කර කැබිනට් මණ්ඩලයට ද ඉදිරිපත් කර ඉදිරි පියවර තීරණය කරන බව වැඩබලන පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ ය.