පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරගනිමින් ජාතික ජන බලවේගය පවත්වන ජන රැළි මාලාවේ අම්පාරේ පැවති රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවේය.
" ජාතීන් අතර සැකය අවිශ්වාසය ගොඩනගන්න, සිංහල බෞද්ධ ජනතාව අතර සැකය හදන්න, මුස්ලිම් ඉස්ලාම් ජනතාව අතර සැකය හදන්න මත වැපිරුවා.ඒවා බොරු අවලාද බව පිළිගනිමින් ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් මේ රටේ ජනතාවට ශක්තිමත්භාවයක් විශ්වාසයක් තිබුණා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හදන්න. දැන් ඒ කියපු අය මේ අම්පාරට එනව ද? පහුගිය ජනාධිපති චන්දෙම ඒ දෙන්නා වැඩිපුර හිටියේ නැගෙනහිර, උතුර කල්මුණේ එන්නැති, සමන්තුරේ එන්නැති, අම්පාරේ එන්නැති පහුගිය ජනාධිපති ඡන්දෙට ආවාද නැද්ද ? ආවානේ. මේ ඡන්දේ ඉන්නවද ? ඇයි එන්නැත්තේ ? ඒගොල්ලන්ට ඇවිල්ලා කියන්න තව දෙයක් ඉතුරු වෙලා නෑ. ඒගොල්ලන්ට මොකක්ද සිද්ධවෙලා තිබෙන්නේ. අසාර්ථකභාවයේ පතුලටම ගිලිලා තිබෙන්නේ. හැබැයි දැන් රැස්වීම් නැති වුණාට මාධ්‍ය සාකච්ඡා තියෙනවා. ලේසියිනේ පුටුවයි, මේසයයි, පිටුපස්සේ බැනර් එකයි, මයික් කීපයයි, කැමරා දෙකයි. ඔච්චරයි. ඒ වගේ දැන් ආයෙ අසත්‍යය, අවලාද කියන්න පටන් අරගෙන තියෙනවා. ගමට එන්න බෑ, රටේ මතයක් කියන්න බෑ, ජනතාව ඒවට ඇහුම්කන් දෙන්නේ නෑ, ජනතාව ඇහුම්කන් දෙන්න එකතු වෙන්නේ නෑ, හැබැයි මාධ්‍ය බලයක් උපයෝගී කරගෙන අසත්‍ය කරුණු දැන් කියන්න පටන් අරන් තියෙනවා. හැබැයි ඒ සියල්ලට මේ නොවැම්බර් මාසේ 14 වැනිදා මේ රටේ ජනතාව නිසි පිළිතුර ලබා දෙන බව අපිට විශ්වාසයි."
ජනාධිපතිවරයා එහිදී වී මිලදී ගැනීම පිළිබඳව දැක්වූ අදහස් මේ...
"පහුගිය කන්න වල ආණ්ඩුව එක වී ඇටයක් මිල දී අරගෙන නෑ. අද ගොවීන් ගාව වී නෑ. වී තියෙන්නේ ව්‍යාපාරිකයන් අතේ. ඒ නිසා අද ඔවුන් මිල පාලනය කරන තත්ත්වයකට ඇවිල්ලා තිබෙනවා. අපි මේ තත්ත්වය වෙනස් කරනවා. වී අලෙවි මණ්ඩලයත්, ආහාර කොමසාරිස් දෙපාර්තුමේන්තුවත් සතු සියලු ගබඩා යළි ප්‍රතිසංස්කරණය කරන්න කියලා අපි උපදෙස් දුන්නා. එළඹෙන මහ කන්නයේ සහතික මිලකට වැඩිම වී ප්‍රමාණය මේ ආණ්ඩුව මිලදී ගන්න සැලසුම් අපි හදල තියෙනවා. ඊට පස්සේ හාල් වෙළඳපොලේ විකෘතියක් හදන්න බෑ. කුඩා මෝල් හිමියන් සංවිධානය කරනවා. ලක් සතොස සමූපකාර ජාලය හරහා හාල් විකුණනවා. ආණ්ඩුවේ ගබඩාවේ වී තියෙනවා අඹරන්න පොඩි මෝල් හිමියෝ ඉන්නවා. විකුණන්න සමූපකාර ජාලය තියෙනවා. එතකොට ගොවියාටත් සාධාරණ මිලකට හාල් ලැබෙනවා. පාරිභෝගිකයටත් සාධාරණ මිලකට හාල් මිල දී ගන්න පුළුවන්."