COLOMBO (News 1st) - බදුල්ල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ, අඹගස්ඔය ප්‍රදේශයේදී සිදු වූ බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙකු දැඩි සත්කාර ඒකකයට මාරු කර තිබේ.
බදුල්ල මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය හිමාලි විජේගුණසේකර මහත්මිය පැවසුවේ, ඒ අනුව මේ වනවිට 8 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ පිරිසක් ගමන් ගනිමින් සිටි බස් රථයක් ඊයේ (01) අනතුරට පත් වුණේ, දුන්හිඳ - බදුල්ල මාර්ගයේ අඹගස් හන්දිය ප්රදේශයේදීයි.
බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ, සිසු සිසුවියන් 36 දෙනෙක්, කථිකාචාර්යවරුන් 03 දෙනෙක්, එම කණ්ඩායම භාරව කටයුතු කළ උපදේශකවරයෙක්, බස් රථය භාරව සිටි ජ්‍යෙෂ්ඨ හමුදා සාමාජිකයෙක් හා බස් රථයේ රියැදුරා ඇතුළු 42 දෙනෙක් එහි ගමන් කරමින් සිටියහ.
ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ, බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදු වී ඇතැයි විශ්වාස කෙරෙන බවයි.
තුවාල ලැබු 40 දෙනෙකු මේ වනවිට බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනු ඇති.
ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි අවශ්‍ය වුවහොත් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝගීන් කොළඹට ගෙන ඒමට ශ්‍රී ලංකා ගුවන් හමුදා බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මේ වනවිට දියතලාව ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කොට ඇති බව ද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ය.
අනතුරෙන් ජීවිතක්ෂයට පත් වුණේ, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සිසුවියන් දෙදෙනෙකි.
23 හැවිරිදි පුබුදි තරංගා, කුරුණෑගල අඹකොටේ ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
දිවි අහිමි වූ අනෙක් සිසුවිය රත්නපුර, නිවිතිගල කොළොම්ඹගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ඉසුරි උමයංගනී.