EPF සම්බන්ධ පෙත්සම් 4ක් ප්‍රතික්ෂේප කෙරේ..

EPF සම්බන්ධ පෙත්සම් 4ක් ප්‍රතික්ෂේප කෙරේ..

by Staff writer 30-10-2024 | 7:06 PM

 COLOMBO (News 1st) –දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් භාණ්ඩාගාර බිල්පත්වල සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය 9 % දක්වා අඩු කිරීමට ගෙන තිබූ තීරණය තුළින් එහි සාමාජිකයින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් 4ක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (30)විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළේ ය.

ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී පෙත්සම් සලකා බැලිණි.

ඒ සම්බන්ධව මූලික විරෝධතා ඉදිරිපත් කරමින් නීතීපතිවරයා ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වය මෙහිදී පැවසුවේ, මෙම කරුණ මතම පදනම්ව ගොනු වී තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් මීට පෙරද අධිකරණයෙන් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළ බවයි.

එබැවින් මෙම පෙත්සම් ද පවත්වාගෙන යාමේ හැකියාවක් නැති බව වගඋත්තරකාර පාර්ශ්වය නියෝජනය කරමින් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ පවසා සිටියේ ය.

එම මූලික විරෝධත පිළිගත් විනිසුරු මඬුල්ල පෙත්සම් විභාගයට අවසර නොදීම පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළේ ය.

මෙම පෙත්සම් කටුනායක නිදහස් වෙළෙඳ කලාප සේවක සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ඉදිරිපත් කර තිබුණි.