හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප...

හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප...

by Staff writer 30-10-2024 | 1:29 PM

COLOMBO ( News 1st ) - රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප පහක් මත මුදාහැරීමට කොළඹ, කොටුව ⁣මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද(30) නියෝග කළා ය.

ඒ, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව නීත්‍යානුකූල ලෙස ලියාපදිංචි නොකර කොටස් ගෙන්වා එකලස් කරන ලද බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් භාවිත කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව අද යළි කැඳ වූ අවස්ථාවේදී ය.

නියෝගය ලබා දෙමින් මහේස්ත්‍රාත්වරිය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට පවසා සිටියේ, මහාධිකරණයේ නිකුත් කර ඇති වරෙන්තු ප්‍රකාරව මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

නඩුව කැඳ වූ අවස්ථාවේ සැකකාර ජොන්සටන් ප්‍රනාන්දු  මහතා සහ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඊයේ ඇප මත මුදාහැරිය රියදුරන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

එහිදී සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා පැවසූවේ, සිය සේවාදායකයාට එරෙහිව ගොනු කර ඇති චෝදනා ඇප ලබා දිය හැකි මෝටර් රථ පනත යටතේ ගැනෙන චෝදනා බැවින් ඔහුව ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඒ අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවමත් සිදුවෙමින් තිබෙන බැවින් සැකකරුට ඇප ලබා නොදෙන ලෙසයි.

නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළේ ය.

නඩුව පෙබරවාරි 5 යළි කැඳවීමට නියමිතයි.