එක්සත් ජාතීන් - ඊශ්‍රායලය අතර මත ගැටුම තීව්‍ර වෙයි

එක්සත් ජාතීන් සහ ඊශ්‍රායලය අතර මත ගැටුම තීව්‍ර වෙයි..

by Staff writer 30-10-2024 | 7:42 AM

COLOMBO ( News 1st ) -එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊශ්‍රායලය අතර ඇති මත ගැටුම නව අදියරකට පැමිණ ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඒ, පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය තහනම් කිරීමට ඊශ්‍රායලය ගෙන ඇති තීරණය හේතුවෙනි.

එක්සත් ජාතීන්ගේ පලස්තීන නියෝජිත රියාද් මන්සූර්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අමතමින් සඳහන් කළේ, ඊශ්‍රායලයේ එම තීරණය පලස්තීන ජනතාවට සම්පුර්ණයෙන්ම එරෙහි වීමක් බවයි.

ඊශ්‍රායල පාර්ලිමේන්තුව වන ක'නෙසට් (knesset) සභාව විසින් පෙරේදා (28) පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය, ඊශ්‍රායලය සහ ඊශ්‍රායල බල ප්‍රදේශ තුළ තහනම් කිරීමට තීරණය කළේ ය.

ඒ අනුව ඉදිරි දින 90 තුළ පලස්තීනයේ බටහිර ඉවුරේ සහ ජෙරුසලම ඇතුළු ප්‍රදේශවල මෙහෙයුම්වල නිරත වීම පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සියට තහනම් කෙරෙනු ඇත.

පලස්තීන සරණාගත කඳවුරු පුරා පැතිරී ගිය අන්ත දරිද්‍රතාවය ඇතුළු ගැටලු සලකා බලමින්, ඔවුන්ට සහන සැපයීමට, 1949 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය  කටයුතු කළේ ය.