ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..

කොදෙව්වන්ට එරෙහි දෙවන තරගයත් ජයගත් ශ්‍රී ලංකාව එක්දින තරගාවලියත් ජය ගනී...

by Staff writer 23-10-2024 | 10:39 PM

COLOMBO (News 1st) –බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම සත්කාරක ශ්‍රී ලංකාව ජය තහවුරු කර ගත්තේ ය .

ඒ, තරගාවලියේ දෙවැනි තරගයත් කඩුලු 5කින් ජය ගනිමින් ය.

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගයේ ආරම්භය ප්‍රමාද වූ අතර, ඒ අනුව එක් ඉනිමක්  පන්දුවාර 44කට සීමා කෙරිණි.

කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක තීරණය කළේ, පළමුවෙන් පන්දු රැකීමටයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීම අභියස කොදෙව් මුල් පිතිකරුවන්ට සාර්ථක වීමට හැකිවූයේ නැහැ.

ඔවුන්ගේ කඩුළු 8ක් ලකුණු ලකුණු 58ක් තුළ බිඳ හෙළීමට මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංග සහ අසිත ප්‍රනාන්දු ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

9වැනි කඩුල්ලට එක්වු ශර්ෆේන් රදර්ෆර්ඩ් සහ ගුඩකේෂ් මෝටි කෙදෙව් ඉනිම ශක්තිමත් කළේ ලකුණු 119ක සබදතාවයක් ගොඩනගමින් ය.

එය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක්දින තරගයකදී 9වැනි කඩුල්ලට ගොඩනැගූ හොඳම සබදතාවය ද වේ.  

ශර්ෆේන් රදර්ෆර්ඩ් ලකුණු 80ක් රැස් කළේ ය.

ගුඩකේෂ් මෝටි ලකුණු 50කි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 189කි.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළේ නිශාන් මදුශ්ක සහ අවිශ්ක ප්‍රනාන්දු ය.

පළමු කඩුල්ල ලෙස අවිශ්ක ලකුණු 9කට දැවී ගියේ ය.

කුසල් මෙන්ඩිස් ලකුණු 3කි.

නිශාන් මදුෂ්ක සමග එක් වූ සදීර සමරවික්‍රම ශ්‍රී ලංකා තුන් වැනි කඩුල්ලට ලකුණු 62ක සබඳතාවක් එක් කළේ ය.

නිශාන් ලකුණු 38ක් සහ සදීර ලකුණු 38ක් රැස් කළේ ය.

නායක චරිත් අසලංක සමග එක්වූ ජනිත් ලියනගේ පස්වැනි කඩුල්ලට  ලකුණු 55ක් එක් කළේ ය.

නායක අසලංක අද රැස් කළේ 14වැනි එක්දින අර්ධ ශතකයයි.

ජනිත් ලියනගේ ලකුණු 24කි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක නොදැවී ලකුණු 62කි.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 2ක් ක් කඩුලු 5ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය.