අමෙරිකානු තානාපතිනිය උතුරේ සංචාරයක..

අමෙරිකානු තානාපතිනිය උතුරේ සංචාරයක..

by Staff writer 23-10-2024 | 7:43 PM

COLOMBO (News 1st) –ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් මහත්මිය අද(23) උතුරු පළාතේ සංචාරයක නිරත විය.

අමෙරිකානු තානාපතිවරිය අද පෙරවරුවේ, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා හමු විය.

X පණිවිඩයක් නිකුත් කරමින් තානාපතිවරිය පැවසුවේ, උතුරු පළාතේ ආර්ථික අවස්ථා ඉහළ නැංවීම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ කෘෂිකාර්මික සංවර්ධනයට සහාය වීම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ බවයි.

මේ අතර, අමෙරිකානු තානාපති ජූලි චංග් මහත්මිය අද යාපනය රදගුරු ආචාර්ය ජස්ටින් ඥානප්‍රගාසම් හිමිපාණන්ද හමු විය.

තානාපතිවරිය නිකුත් කළ X පණිවිඩයේ දැක්වුණේ, යුක්තිය හා සංහිදියාව පිළිබඳව ප්‍රගතියක් ඇතිකර ගැනීමට ඇති අවස්ථා පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කළ බවයි.

ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අවධානය යොමුවූ බව තානාපතිවරියගේ එක්ස් පණිවිඩයේ සඳහන් ය.

මේ අතර, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරිය අද(23) යාපනය කීරිමලෛයි නගුලේෂ්වරම් කෝවිලට පැමිණ ආගමික වතාවත්වල ද නිරත වී තිබේ.