සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් නැහැ - ජනපති

සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් නැහැ - ජනපති සහල් ව්‍යාපාරිකයින්ට කියයි

by Staff writer 22-10-2024 | 5:14 PM

COLOMBO ( News 1st ) - සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් කිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (22) අවධාරණය කළේ ය.

සහල් ව්‍යාපාරිකයින් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවැති  සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ය.

සංවිධිත කෘෂිකර්මාන්ත සැලැස්මක් ඇති කර ගොවි ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේ දී කියා සිටියේ ය.

පාලන මිල පැනවීමෙන් පසුව ගොවීන්ගෙන් වී මිලදී ගෙන ඇති අතර ඉන්පසුව සහල් මිලෙහි වෙනසක් සිදු කිරීම සාධාරණ නොවන බව ඔහු සදහන් කළේ ය.

ගොවි ජනතාවගෙන් සාධාරණ මිලට වී ලබා ගැනීමටත්, පාරිභෝගික ජනතාවට සාධාරණ මිලට සහල් ලබා දීමටත් විධිමත් යාන්ත්‍රණයක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේ ය.

අතර මැදි තොග රැස් කරන්නන් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේ දී අවධානයට ලක් වූ අතර එම පිරිස ලියාපදිංචි කිරීම පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී කෘෂිකර්ම නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මෙහිදී අදහස් පළ කළ ජනපති අනුර කුමාර දිසානායක මහතා..

"විශේෂයෙන්ම වී ගොවිතැනේ දී තමුන්නාසේලාගේ දායකත්වය අතිශය වැදගත්. අපි ආනාගතයේ දී සැලසුම් හදන්න, ක්‍රියාත්මක කරන්න, විශේෂයෙන්ම ගොවි ජනතාව අතරට වැඩි ප්‍රතිලාභ ගෙනයාම සදහා කෘෂිකර්ම ප්‍රතිපත්තියක් අපි හදන්න ඕනේ. ඒකෙදී තමුන්නාසේලාගේ සහාය අවශ්‍යයි. ඒක අපේ දිගුකාලීන වැඩසටහනක්. හැබැයි අපි කෙටිකාලීනව අපි කවුරුත් දන්නවා ජනතාවගේ ජීවන තත්ත්වය සැලකිල්ලට ගත්තොත් එය යම් ප්‍රමාණයකින් බිදවැටිලා තියෙන්නේ. ඒ නිසා අඩුම තරමේ අපි ඔවුන්ට ඔවුන්ගේ ආහාරවේල සාධාරණ මිලකට ලබා දිය යුතුයි. අනිත් පහසුකම් සකස්කළ යුතුයි, ආහාර වේල සාධාරණ මිලකට ලබා දියයුතුයි, එහිදී සහල් මිල තමයි ප්‍රධාන වශයෙන් ගැටගැහෙන්නේ"