පේරුහි හිටපු ජනාධිපතිට වසර 20ක සිර දඩුවමක්...

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති 'අලෙහන්ද්‍රෝ ටොලීඩෝ'ට වසර 20ක සිර දඬුවමක්...

by Staff writer 22-10-2024 | 8:40 AM

COLOMBO ( News 1st ) - පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති 'අලෙහන්ද්‍රෝ ටොලීඩෝ'ට වසර 20ක සිර දඬුවමක් නියම වී තිබේ.

ඒ ඔහු අල්ලස් ලබා ගැනීමේ චෝදනාවලට වරදකරුවෙකු වීම හේතුවෙනි.

2001 වසරේ සිට 2006 වසර දක්වා ඔහු පේරු රාජ්‍යයේ ජනපති ධුරයේ කටයුතු කළේ ය.

පේරු හා බ්‍රසීලය යා කෙරෙන මාර්ගයක් ඉදිකිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුවක් වෙනුවෙන්, ඉදිකිරීම් සමාගමකින් ඩොලර් මිලියන 35ක අල්ලස් ලබා ගැනීම ඔහුට එල්ල වූ චෝදනා අතරට ඇතුළත්.

78 හැවිරිදි ටොලීඩෝ, ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් හිමිකරගෙන ඇති ආර්ථික විද්‍යාඥයෙකි.

අල්ලස් ලබාගැනීම සහ මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා හේතුවෙන් ඔහු අමෙරිකාවේදී අත්අඩංගුවට ගැනුණේ 2019 වසරේදීය.

අදාල ඉදිකිරීම් සමාගමෙන් අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන්, පේරු රාජ්‍යයේ තවත් ජනාධිපතිවරුන් දෙදෙනෙකුට එරෙහිව ද විමර්ශන ක්‍රියාත්මක බව විදෙස් වාර්තාවල දැක්වේ.