සිරස මාධ්‍ය ජාලය සම්මානයකින් පිදුම් ලබයි

විවිධත්වය සහ අන්තර්කරණය වෙනුවෙන් වූ ආසියානු පැසිෆික් විකාශන සමූහයේ සම්මානයෙන් කැපිටල් මහරාජා සමූහයේ සිරස මාධ්‍ය ජාලය පිදුම් ලබයි

by Staff writer 20-10-2024 | 7:55 PM

COLOMBO (News1st) - 2024 විවිධත්ව සහ අන්තර්කරණය සඳහා වූ ආසියා පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ සම්මානයෙන් සීමාසහිත කැපිටල් මහාරාජා සමූහයට අයත් සිරස මාධ්‍ය ජාලය පිදුම් ලැබීය.

මෙම සම්මානය පිරිනැමුණේ අද(20) තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ පැවති සම්මාන උළෙලේදීයි.

මෙහිදී ඇගයීමට ලක් වුණේ විවිධත්වය සහ අන්තර්කරණය සඳහා වූ මාධ්‍ය මෙහෙවරයි.

උත්සවයේදී  MTV නාලිකාව වෙනුවෙන් කැපිටල් මහාරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා සම්මානය පිළිගතතේය.

මෙම සම්මානය පිරිනැමීමේදී ඇගයීමට ලක් වුණේ  MTV නාලිකාව සිය මාධ්‍ය මෙහෙවරේදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, විවිධත්ත්වය මාධ්‍ය ක්ෂේත්‍රය තුළට ඇතුළත් කිරීම සඳහා දරන ප්‍රයත්නයයි.

MTV නාලිකාව තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සම අවස්ථා සුරක්ෂිත කිරීම මෙම ජයග්‍රහණයෙන් ඇගයීමට ලක්වන අතරම කාර්ය මණ්ඩලයට සහ ප්‍රජාවට එම සංකල්ප අභිප්‍රේරණය කිරීමත් දිරිමත් කර තිබේ.

ආසියා පැසිෆික් විකාශන සංගමයේ 61 වැනි මහා සමුළුවේ කොටසක් වන ආසියා පැසිෆික් විකාශන සංසදයේ මෙම ගෞරවනීය ඇගයීම මාධ්‍ය ක්ශේත්‍රය තුළ විවිධත්ත්වය නියෝජනය කිරීම වෙනුවෙන් සිදු කරන අඛණ්ඩ උත්සාහයේ ඇති වැදගත්කම තවදුරටත් අවධාරණය කරන්නෙකි.