කටුනායකට ගොඩ බැස්සවූ ගුවන් යානයේ බෝම්බ තර්ජනයක් නැහැ - ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම

by Staff writer 19-10-2024 | 4:52 PM

COLOMBO ( News 1st ) - ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි විස්තාරා ගුවන් සේවයට අයත් UK 131 යානයේ බෝම්බ තර්ජනයක් නොමැති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි විස්තාරාප (Vistara) ගුවන් සේවයට අයත්, ගුවන් යානයේ බෝම්බ තර්ජනයක් නොමැති බව ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම තහවුරු කළේය.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ, අදාළ ගුවන් යානයේ බෝම්බයක් පවතින බවට නාඳුනන ඇමතුමක් ලැබීමත් සමග එය ගොඩබැස්වීමට විනාඩි 10 කට පෙර කටුනායක ගුවන් තොටුපොළට යානය ගොඩබැස්වූ බවයි.

අදාළ අංශවලට ක්ෂණිකව ඒ පිළිබඳව දැනුම් දීමෙන් පසු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරිණි.

අනතුරුව මගීන් ඉවත් කර එය පරික්ෂා කිරීම් ආරම්භ කළ බව ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම සඳහන් කළේ ය.

එලෙස පරීක්ෂාවට ලක් කෙරුණේ පස්වරු 2.49 ට ගුවන් තොටුපොළට ගොඩබැස්වූ විස්තාරා ගුවන් සේවයට අයත්, UK 131 ක නමැති ගුවන් යානයකි.

එහි මගීන් 96 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 08 දෙනෙකු සිට තිබේ.

අදාළ ගුවන් යානය තුළ කිසිදු බෝම්බයක් නොමැති බව පරීක්ෂා කිරීමවලදී අනාවරණ වී ඇති අතර ආරක්ෂක අංශ විසින් එය තහවුරු කරගෙන ඇතැයි ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

යානය හා මගීන් පරීක්ෂා කිරීම සඳහා  ගුවන් හමුදාව, කර්මාන්ඩෝ භටයින් සහ පොලීසිය ඒකාබද්ධව කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ය.

මේ අතර ඉන්දීය ගුවන් යානා 11කට පැය 24 ක් තුළ බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි එරට සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

එලෙස බෝම්බ තර්ජන එල්ල වී ඇත්තේ, එයාර් ඉන්දියා, ඉන්ඩිගෝ, ආකාසා එයාර්, විස්තාරා, ස්පයිස් ජෙට්, ස්ටාර් එයාර් සහ එලායන්ස් එයාර් යන ගුවන් සමාගම්වල ගුවන් යානාවලටය.

ඒ අනුව ගතවූ සතිය තුළ ඉන්දීය ගුවන් යානා වල බෝම්බ පවතින බවට අනතුරු අඟවමින්, ව්‍යාජ දුරකතන ඇමතුම් 50 ක් පමණ ලැබී තිබුණේ ය.

ඒ සමග ගුවන් තොටුපොළ රැසක දැඩි නොසන්සුන්තා ඇතිවිය.

එම කිසිදු යානයක බෝම්බ නොතිබූ බව පසුව කළ පරික්ෂා කිරීම්වලදී අනාවරණය විය.

නවදිල්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ලන්ඩන් නුවර බලා පියාසර කරමින් තිබූ UK17 නමැති විස්තාරා ගුවන් සේවයට අයත් යානය, අද පස්වරුවේ බෝම්බ තර්ජනයක් හේතුවෙන් ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් වෙත හරවා යවනු ලැබුවේ ය.

ඊට අමතරව ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් සේවයේ යානයකට, ආකාස ගුවන් සේවයේ යානා 5 කට සහ ඉන්ඩිගෝ ගුවන් සේවයේ යානා 5 කට අද බෝම්බ තර්ජන එල්ල වුණි.

පසුව අනාවරණය වුණේ, අදාළ දුරකතන ඇමතුම් ව්‍යාජ බිය ගැන්වීම් බවය.