වෙළෙඳපොළේ නාඩු සහල් හිඟයක්ද?

වෙළෙඳපොළේ නාඩු සහල් හිඟයක්ද? කෘත්‍රිම හිඟයක් බවට වෙළඳ අමාත්‍යාංශයෙන් චෝදනා..

by Staff writer 18-10-2024 | 7:33 AM

COLOMBO (News 1st) - වෙළෙඳපොළේ නාඩු සහල් මිල පාලන මිල ඉක්මවා ඉහළ ගොස් තිබේ.

මරදගහමුල සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පැවසුවේ, නාඩු වී හිඟය හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි.

එහි සභාපති බී.කේ. රංජිත් මහතා පැවසුවේ මේ වනවිට නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 230 ඉක්මවා සිල්ලර වෙළෙඳපොළේ අලෙවි වන බවයි.

නාඩු සහල් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 220 කි.

මෙවැනි තත්ත්වයක් යටතේ නාඩු සහල් සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳ වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන් මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය.

ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ සොයා බැලූ බවයි.

පසුගිය කන්නයේ හා මෙවර කන්නයේ නාඩු වී අස්වැන්න ප්‍රශස්ත මට්ටමක පැවති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සමග කළ සාකච්ඡාවකදී හෙළි වූ බවද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

ඒ අනුව වෙළෙඳපොළේ කෘත්‍රිම සහල් හිඟයක් ඇති කර ඇති බවට අනුමාන කරන බව ඔහු පැවසුවේ ය.

එම්.එම්. නයිමුදීන් මහතා ප්‍රකාශ කළේ, පවතින තත්ත්වය පිළිබඳ මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමග සාකච්ඡා කර විසඳුමකට එළැඹෙන බවයි.

ඊට සමගාමීව සතොස හරහා නාඩු වී සෘජුව මිලට ගෙන සහල් බවට පත් කර වෙළෙඳපොළේ නිකුත් කිරීමට පියවර ගන්නා බවද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.